ඊට හේතුව වී ඇත්තේ අද දින (මැයි 05) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමයි.
මෙම කණ්ඩායමට නේවාසික පහසුකම් සලසා ඇත්තේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරය තුළයි. නමුත් ඊයේ දින (මැයි 04) උදය වරුවේ සිට නේවාසිකාගාරය තුළ විදුලිය බිඳ වැටී තිබී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුළ ලැගුම් ගෙන සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවී තිබේ.
මේ අතර ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්වය පැවතී ඇති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද විදුලිය ඇණ හිටීම නිසා අඩපණ වී ඇත. ඊයේ සවස 5.00 වන විටත් මෙම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත මෙය සැලවීමෙන් පසුව කඩිනමින් තත්වය විසදීමට අමාත්‍යංශ නිලධාරීන්ට හා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට උපදෙස් ලැබී ඇත.
ඒ අනුව විදුලි ජනක යන්ත්‍රයක් සපයා විදුලිය ලබා දීමටත්, විදුලිබල මණ්ඩලය යොදවා මෙම විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන තිබේ. නමුත් විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට දිනක පමණ කාලයක් අවශ්‍ය බවයි.
ඒ වනවිටත් නේවාසිකාගාරය අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ එම ස්ථානයට පැමිණීමටවත් ක්‍රියා කර නැත.
මේ අතර ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සියළුම නේවාසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන ලබා දීමටත් අමාත්‍යංශ නිලධාරීන් හා අමාත්‍ය කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇත.
ඒ අනුව ඔවුන් විසින් බස්රථ යොදා ගෙන ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරය තුළ සිටි සියලුම නේවාසිකයින් හෝටලය වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් රාත්‍රී 9.00 පමණ වන විට සලසාදුන් අතර අමාත්‍යවරයාද එම හෝටලයට පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පහසුකම් සොයා බැලීමටද කටයුතු කර තිබේ. එම අවස්ථාව වනවිටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙක් හෝ එම ස්ථානයට පැමිණ නැත.
මෙපරිද්දෙන් වගකීම් විරහිතව රාජකාරී කිරීම නිසා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment