විපක්‌ෂනායකවරයාගේ ගේට්ටුවේ සල්ලි මල්ලක්.



නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ 12 දා සවස යාපනයට පැමිණ උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායක එස්‌.තවරාසා මහතාගේ නිවසේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක්‌ ගැටගසා තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් මේ අන්දමට සල්ලි මල්ලක්‌ ගැට ගසා ඇත්තේ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට මැයි මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් පළාතේ පැවති උත්සවය සඳහා ගිය වියදම් හා අයවැය පිළිබඳව විපක්‌ෂනායකවරයා පළාත් සභා සැසිවාරයේදී දිගින් දිගටම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය පළ කිරීමටය.

මෙම උත්සවය සඳහා උතුරු පළාත් සභාවේ එක්‌ දෙමළ මන්ත්‍රීවරයකුගෙන් රුපියල් 7000 බැගින් එකතු කළ අවස්‌ථාවේදී විපක්‌ෂනායක තවරාසා මහතාද රුපියල් 7000 ගෙවා තිබේ.

උත්සවයෙන් පසුව එම මුදල් සම්බන්ධයෙන් විපක්‌ෂනායකවරයා දිගින් දිගටම කරුණු විමසීමෙන් උරණ වූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එක්‌ සිසුවකුගෙන් රුපියල බැගින් එකතු කොට උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායකවරයා ලබාදුන් රුපියල් 7000 පියවා ඇත.

මෙම රුපියල් 7000 මුදල ද රැගෙන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී විපක්‌ෂනායකවරයාගේ මුදල බාරගෙන එය ඔහුට ආපසු ලබා දෙන මෙන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

එය ප්‍රතික්ෂේප වූ තැන සිසුන් එම මුදල ද රැගෙන විපක්‌ෂනායකවරයා හමුවීමට ගිය අවස්‌ථාවේදී එම මුදල බාර ගැනීම ප්‍රතික්‌ෂේප කරමින් විපක්‌ෂනායකවරයා පලාගොස්‌ ඇත.

ඉන් අනතුරුව සිසුන් විපක්‌ෂනායකවරයාගේ නිවසේ ගේට්‌ටුවේ මුදල් පසුම්බිය ගැට ගසා ඔහුට දුරකථන ඇමතුමක්‌ ලබාදී පිටව ගොස්‌ ඇත.

යුද්ධයේදී මියගිය වැසියන් සිහිපත් කිරීම පිණිස පැවති උත්සවයට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විශාල මුදල් පරිත්‍යාගයක්‌ කළ බව පවසන සිසුන් තවරාසා විපක්‌ෂනායකවරයාට ඔහුගේ රුපියල් 7000 ක මුදල එතරම් වටින්නේ නම් එය ඔහුට ආපසු බාරදීම උචිතම ක්‍රියාව බවද කියා ඇත.

-දිවයින-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment