පොදු ප්‍රවාහනය ගැන සාකච්ඡාවක් ඉල්ලා නියෝජ්‍ය ඇමතිට ලිපියක්.


දිනපතා පොදු ප්‍රවාහන බස් රථ සේවා භාවිතාකරන කොළඹ දිස්ත්‍රිකය ඇතුළු මෙරට ලක්ෂ ගණනක් වූ බස් රථ මගීන් මුහුණදෙන ගැටළු ඇතුළුව විධිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වමින් ‘කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය’ විසින්  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

2018-09-03 වනදා සිදුකර ඇති එම ලිඛිත දැනුම්දීම හරහා බස් මගීන් මුහුණදෙන ගැටළු සම්බන්ධව මෙන්ම පොදු ප්‍රවාහන පද්ධතියේ අර්බුදය විසින් ආර්ථිකය වෙත සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධවද අවධානය යොමුකර ඇත.

‘කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය’ විසින්  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ වෙත ලිඛිත දැනුම්දීම පහත දැක්වේ. 

2018.09.03.

ගරු අශෝක අබේසිංහ මැතිතුමා,
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය,
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය,
7වන මහල, සෙත්සිරිපාය, පියවර II,
බත්තරමුල්ල.

ගරු නියෝජ්‍ය අමාත්‍ය තුමනි,

බස් මගීන් ලෙස අප මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා

දිනපතා පොදු ප්‍රවාහන බස් රථ සේවා භාවිතාකරන කොළඹ දිස්ත්‍රිකය ඇතුළු මෙරට ලක්ෂ ගණනක් වූ බස් රථ මගීන් වෙනුවෙන් පෙනී සිටින එකම සංගමය වන ‘කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය’ සුවපහසු සහ ගුණාත්මක බස් මගී ප්‍රවාහන සේවාවක් දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන අරගලයේ දී, බස් මගීන් ලෙස අප මුහුණ දෙමින් සිටින දැවැන්ත ගැටළු ගණනාවක් තිබේ.

විශේෂයෙන් සුවපහසු සහ ගුණාත්මක බස් මගී ප්‍රවාහන සේවාවක් නොමැති වීම හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ තදාසන්න ප්‍රදේශ තුළ නාගරික සංචලතාවය දුර්වල මට්ටමක පවති.

මේ හේතුවෙන් බස්නාහිර පළාතට පමණක් 12% ක දළ දේශීය නිශ්පාදිතයේ අහිමිවීමක් සිදුවන බවත් එය 2020 වන විට 20%කට වඩා ඉහළ යා හැකි බවත් ජනාධිපති විශේෂඥ කමිටු වාර්ථාවන් පෙන්වා දෙයි.

එකී ගැටළුව ඇතුළුව බස් මගීන් ලෙස අප මුහුණ දෙමින් සිටින දැවැන්ත ගැටළු සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශය දැනුවත් කිරීම සඳහා මෙන් ම සාමුහිකව අර්බුධයන් සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සඳහා දිනයක් සහ වේලාවක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු!

ස්තුතියි,

මීට,
විශ්වාසී,

විමුක්ති දුෂාන්ත,
කැඳවුම්කරු,
කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය
(0715399847)

ගැමුණු පරණවිතාන,
ලේකම්,
කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment