ප්‍රභූ ඝාතන කතාවේ මෙතෙක් හෙළිනොවූ රහස්.



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සුදානමක් සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ සුදානමක් ගැන මාධ්‍ය හරහා රසවත් කතා මැවේද්දී එම සිද්දියට අදාලව මෙතෙක් හෙළිනොවූ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවිය.

මේ සම්බන්ධයෙන් පලවන පුවත් වාර්තාවලට අනුව මෙය ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුමක් ඇතිකර ආණ්ඩුව බිඳ දැමීමේ ඒකාබද්ධයේ කුමන්ත්‍රයක් ද ? නැතහොත් රුපියලේ අගය බාල්දු වෙමින් ජනතාව තුල අසහනයක් මතුවෙද්දී ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමට ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන මාධ්‍ය මෙහෙයුමක් ද යන සාධාරණ සැකයක් ජනතාව තුල මතුවෙමින් තිබේ.

රහස් පොලිසිය කියපු දේ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර ප්‍රදේශයේදී ද සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාව කොළඹ ප්‍රදේශයේ දී ද ඝාතනය කිරීමට ද රජයේ සේවකයින් කිහිප දෙනෙකුට අපකීර්තියක් ඇති කිරීමට අනුබලදීම හා පෙළඹවීම සිදුකල බවට 'දුෂණ විරෝධී බලකායේ' අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන අය විසින් සැප්තැම්බර් මස 15දා කල පැමිණිල්ල විභාගකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකටයුතු ඉන්දියන් ජාතිකයකු සම්බන්ධයෙන් ද පසුගිය 25 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු දැක්විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, ඒ මහතාගේ පවුලේ සෙසු සාමාජිකයනුත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බවට සැකකාර ඉන්දියානු ජාතිකයා පවසන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් හැටි මෙන්න :

මෙම නඩුවට අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශනයේදී පසුගිය 19 දින සවස මෙම විමර්ශනයට අදාල පැමිණිලිකරු වන නාමල් කුමාර යන අයගේ නිවසට ඉංග්‍රීසි භාෂාව හා දෙමල භාෂාව පමණක් කතාකරන සැකකටයුතු පුද්ගලයකු පැමිණි බවත්, ඔහු සම්බන්ධයෙන් වරකාපොල පොලිසියට දැනුම් දුන් පසු ඔහු තම නිවසින් පිටව ගිය බවත් පසුව එම තැනැත්තා 20 වන දින සවස නැවත මෙම පැමිණිලිකරුගේ නිවසට පැමිණ ඇති බව පැමිණිලිකරු දැනුම් දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එස්. රන්ජිත් මුණසිංහ මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

ඒ අනුව එදිනම සවස වරකාපොල පොලිස් වසමේ කරඳ තුල්හිරිය පිහිටි පැමිණිලිකරුගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් යවා සිදුකරනු ලැබූ විමර්ශනයේදී 19 හා 20 දෙදින පැමිණිලිකරුගේ නිවසට පැමිණ සැකකටයුතු ලෙස හැසිරුණ ඉන්දියන් ජාතිකයකු වන මර්සිලි තෝමස් යන අය 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ අත්අඩංගුවට ගත් බවත් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසිය.

අත්අඩංගුවට ගැනීමට හේතුව !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකටයුතු ඉන්දියානු ජාතිකයා මෙසේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත්තේ, ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමේ සුදානමක් දැන සිට එය පොලිසියට වාර්තා නොකිරීමේ චෝදනාව මතය.

'දුෂණ විරෝධී බලකායේ' අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන අය විසින් මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රභූ ඝාතනයක් ගැන හෙලිකල කරුණු තම මාධ්‍ය මගින් දුටු බවත් ඊට සමාන ම ආකාරයේ තොරතුරු රැසක් තමා දන්නා බැවින් ඒගැන සාකච්ජා කිරීමට නාමල් කුමාර හමුවීමට පැමිණි බවත් මෙම ඉන්දියානු ජාතිකයා නාමල් කුමාරගේ නිවසේදී පොලිසියට පවසා ඇත.

මෙම අනතුර දැනුම්දීම සඳහා තමා කිහිප අවස්ථාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස අසලට හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ නිවාස අසලට ගිය නමුත් ඊට අවස්ථාවක් නොලැබුන බවත් මෙම ඉන්දියානුවා පොලිසියට පවසා තිබේ.

විහිලුවට කාරණයක් !

මෙම තත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොහුව වහාම කොළඹට රැගෙනවිත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ සුදානම දැනගත් අකාරය දිගින් දිගටම ප්‍රශ්න කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ ලංකාවේ පුවත්පත් හා රුපවාහිනී පුවත් බැලීමේදී තමන්ට එවැනි හැඟීමක් දැනුන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිම විටෙක මෙවැනි ඝාතන තැතක් ඇතැයි සනාථ කිරීමට සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

සැකකටයුතු මර්සිලි තෝමස් කව්ද ?

පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වලට අනුව සැකකටයුතු මර්සිලි තෝමස් නමැති ඉන්දියානුවා ඉන්දියාවේ කේරලයේ පදිංචිකරුවෙකි.

මොහු ලංකාවට පැමිණ ඇත්තේ 2017 මාර්තු මාසයේදීය.

එම ඉන්දියානු ජාතිකයා වීසා කාලය අවසන් වීමෙන් පසුවත් රාගම තේවත්ත ප්‍රදේශයේ පිහිටි කාමරයක්‌ කුලී පදනම මත ලබාගෙන ජීවත්වී ඇති බවත් ඔහු කිසිදු රැකියාවක්‌ කර නැති බවත් හෙළිවී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් දැනුම් දුන්නේය.

 ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියන කතාව ?

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නායකයන්ට පවතින ජීවිත තර්ජනයක් පිළිබඳව තොරතුරු සතු බව කියන ඉන්දියානු ජාතිකයකු ශ්‍රී ලංකා පොලීසිය රඳවා තබා ගෙන සිටින බවට පල වන මාධ්‍ය වාර්තා තම කාර්යාලයටත් වාර්තා වු බව මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම කරුණ බරපතළ ලෙස සැලකිල්ලට ගත් බවත් ශ්‍රී ලංකා බලධාරීන් විසින් තම කාර්යාලයට ලබා දෙන ලද සීමිත තොරතරු මත පදනම්ව අදාළ පුද්ගලයා පිළිබඳව පසුබිම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉන්දීය බලධාරීන්ට දැනුම් දුන් බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

ඒ අනුව සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා 2000 වර්ෂයේ සිට මානසික ආබාධයන් සහිත ඉතිහාසයක් ඇති අයෙකු බවයි.

මෙම තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් පූර්ණ සහ වෘත්තීමය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අපගේ සම්පූර්ණ සහයෝගය සහ උපකාරය ලබා දෙන බවට සහතික වන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

[SLM]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment