ලංකාවේ පුහුණුව අතැර වෙස්ට් ඉන්ඩීස් යන කතාව චන්දික හතුරුසිංහ ප්‍රතික්ෂේප කරයි



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා නම් කිරීමට යෝජිත කෙටි ලැයිස්තුවට ඇතුළත්
පුහුණුකරුවන් කිහිපදෙනා අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊයේ (29දා) කළ විමසීමකදී එම වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර චන්දික හතුරුසිංහ මහතා එම  තනතුර සඳහා ඉතාමත් රහසිගතව ඉල්ලුම් පත් යොමු කර ඇතැයි  එකී වාර්තා සඳහන් කළ අතර ඔහු  සමඟ බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන කට්නි වෝල්ෂ් සහ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ඇඩමිස්
යන පුහුණුකරුවන් ද එම තනතුර හිමි වීමේ වැඩි ඉඩක් පවතින අනෙක් පුහුණුකරුවන් දෙදෙනා බවද පැවැසේ.

තවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන පෙළේ නිලධාරියක් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් "චන්දික හතුරුසිංහ, කට්නි වෝල්ෂ් සහ ක්‍රිස් ඇඩම්ස් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තොරාගැනීමට ඉඩ ඇති ඉදිරියෙන්ම සිටින කිහිපදෙනා බව  සත්‍යයක්. නමුත් හතුරුසිංහ මහතා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වන තෙක් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමට නොහැකියි.  කට්නි වෝල්ෂ් සම්බන්ධයෙනුත් අපගේ දැඩි අවධානය යොමු කර තිබුණත් ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇති බව එම වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ස්ටුවර්ට් ලෝ එම තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව අන්තර්කාලීන වැඩ බලන පුහුණුකරු වශයෙන් මේ වන විට නික් පෝතාස් කටයුතු කරයි. මේ අතර පසුගිය ජුනි මාසයේදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවසන් ටෙස්ට් තරගය නිමා වීමෙන් අනතුරුව පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ චන්දික හතුරුසිංහ මහතා  එක් නොවීය.

නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු 2019 ලෝක කුසලානයට වසරක කාලයක් ඉතිරී තිබියදීත් එම තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ සම්බන්ධයෙන්  විශේෂ පරීක්ෂණ චාරිකාවක් සිදුකිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව යැමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි නතර වුණු බවයි. නමුත් හතුරුසිංහ මහතා එංගලන්ත පරීක්ෂණ චාරිකාවට සහභාගි නොවී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බව පසුව හෙළි විය. එම අවස්ථාවේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිසි වේලාවට වීසා බලපත්‍ර ලබා ගැනීමට ඔහුට නොහැකි වීම නිසා එම එංගලන්ත සංචාරය සිදු කිරීමට නොහැකි වූ බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment