තිදරු පියෙකු වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමිනමක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඞ්

හබරණ පලූගස්වැව උල්පතගම ප‍්‍රදේශයේදී 31 හැවිරිදි තිදරු පියෙකු වෙඩි තබා ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට සාදන ලද තුවක්කුවක් සමග හබරණ පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හබරණ පලූගස්වැව ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 31 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා පෙරේදා (19) නියෝග කළේය.

 මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ හබරණ පලූගස්වැව උල්පතගම උත්තරාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහසෙන්ගම සුමනරතන, සේනාදිරියාගම බී.එම්. නිමල් බණ්ඩාර, උල්පතගම එච්. ඒ. ජයරත්න යන තිදෙනාය.

 උල්පතගම පදිංචි 31 හැවිරිදි තිදරු පියෙකු වන අප්පුගේ සුරේෂ් රවීන්ද්‍ර කුමාර යන අය 2019.01. 17 දින හෝ ඊට ආසන්න දිනයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 මරණකරු 2019.01.17 දින රාත‍්‍රී උල්පතගම ප‍්‍රදේශයේ පිහිටි තම හේනට පැල් රැකීම සඳහා ගොස් ආපසු නිවෙසට නොපැමිණි බවට ඔහුගේ බිරිය විසින් හබරණ පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකිරීමේදී මරණකරුගේ හේන අසල පිහිටි කැලෑවක අභිරහස් ලෙස ඝාතනය කර වළ දමා තිබූ මළ සිරුර පෙරේදා (19) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

 ඒ අනුව කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පෙරේදා (19) පවත්වනු ලැබූ අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට මඩකලපුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

 හබරණ පොලිසිය මේ පිළබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

 -කරුණාරත්න ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment