බැඳුම්කර නඩුව කණපිට හැරෙන ලකුණු : මහ බැංකුවේ ලොක්කන් අත්අඩංගුවට ගන්නැයි මෝසමක්.


ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා යන අය සැකකරුවන් ලෙස නම් කරන්නැයි ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24) මෝසමක් ඉදිරිපත් වුණි.

මහබැංකු බැඳුම්කර සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින අර්ජුන ඇලෝසියස් මහතා විසින් අදාළ මෝසම ගොනු කර තිබුණි.

එය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අර්ජුන ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන නන්දලාල් වීරසිංහ සහ ආනන්ද සිල්වා යන අය වගකිව යුතු බවට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසම විසින් තම නිර්දේශය සඳහන් කර ඇති බව කියා සිටියේය.

එමෙන්ම මෙම පරීක්ෂණයට අදාළ ව විගණකාධිපතිවරයා විසින් ලබාදී ඇති ප්‍රකාශයක ද මහ බැංකු බැඳුම්කර වංචාවට ආනන්ද සිල්වා සහ නන්දලාල් වීරසිංහ යන පුද්ගලයින් වගකිව යුතු බවට ඍජුව ම කරුණු දක්වා ඇති බව ඇලෝසියස් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්!

මේ හේතුවෙන් අදාළ නිලධාරීන් දෙදෙනා එම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීම රහස් පොලිසිය විසින් මගහරිමින් සිටින බවට චෝදනා කළ අර්ජුන ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම පුද්ගලයින් දෙදෙනා මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම්කර ගැනීම සඳහා නියෝග නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම මෝසම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණය සඳහන් කර සිටියේ එම ඉල්ලීම විමර්ශන නිලධාරීන් ද සිටින අවස්ථාවක සලකා බැලිය යුතු කරුණක් බවයි.

මේ හේතුවෙන් මෙම කරුණ නඩුව කැඳවන මීළඟ පෙබරවාරි මස 25 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් මහේස්ත්‍රාත්වරිය සැකකාර අර්ජුන ඇලෝසියස් මහතාගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

තවත් ඉල්ලීමක්!

මේ අතර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සැකකාර අර්ජුන් ඇලෝසියස්ට ඇතුළුවීම සඳහා අනුමැතිය ලබාදෙන මෙන් ද තවත් ඉල්ලීමක් ඔහුගේ පාර්ශ්වය නිතිඥවරු ඉදිරිපත් කළේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ද මීළඟ නඩු දිනයේ කරුණු ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරිය අර්ජුන ඇලෝසියස් මහතාගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment