විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා : මෛත්‍රී ද? ගෝඨා ද? සටන කරලියට.


ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයා තෝරාගෙන සන්ධානය හැදීම නොව සන්ධානය හදා එහි සාකච්ඡා කර අපේක්ෂකයා තෝරා ගැනීම සිදු කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ එජාපයේ ජය ප්‍රාර්ථනා කරන අයෙක් යැයි ද ගම්මන්පිල මහතා කීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔහු එබව සඳහන් කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහතික නොවුහොත් එම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සිදු නොවනු ඇතැයි ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා කල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

සතිඅන්ත 'අනිද්දා' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් මහින්ද සමරසිංහ මහතා එම කාරණය අවධාරණය කර තිබිණ.

මෛත්‍රීට එරෙහිවන්න අයිතියක් නැහැ :

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශකර තිබුනේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණත් (පොහොට්ටුව) කොන්දේසි විරහිතව සහාය ලබාදිය යුතු බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

''දිනන්න පුළුවන් ගෝඨා ට විතරයි'' 

කෙසේවුවද ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා, ජනාධිපතිවරණයක දී ජය ගත හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතිකවාදී හා වාමවාදී කඳවුරු දෙකෙහිම මතය බවත් කලින් ජාතිකවාදී කණ්ඩායම එම මතයේ හිඳිද්දී වාමවාදී කණ්ඩායම් එය ප්‍රතික්ෂේප කළ බවත් කියා සිටියේය.

පුළුල් සන්ධානයක දී මේ කරුණ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයැයි ද අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් කර බලා හිඳීමට නොව ඔහු ජයග්‍රහණය කර ජනාධිපති පුටුවේ අසුන් ගැන්වීම යැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

ජනාධිපතිවරණයක දී වැදගත් වන්නේ පක්ෂය හෝ ලකුණ නොව පුද්ගලයා බවත් අවශ්‍ය වන්නේ සියයට පණහ ඉක්මවා ඡන්ද ලබා ගැනීම බවත් කී මන්ත්‍රීවරයා ඒ සඳහා එජාපයට එරෙහිව හැදිය හැකි පුළුල්ම සන්ධානය හැදිය යුතු යැයි ද පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment