බීමත් රියැදුරන්ට වැඩ වරදී: පරීක්ෂණ අවසන් වන තෙක් රිමාන්ඩ්.


බීමත්ව රිය පදවා අත්අඩංගුවට ගන්නා රියැදුරන් එම පරීක්ෂණ අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන බවත් එම මෝටර් රථය ද පරීක්ෂණ අවසන් වන තෙක් නිදහස් නොකරන බවත් රථ වාහන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ වූ පසු ගිය අප්‍රේල් 01වැනි දා සිට ඊයේ පෙරේදා 11 වැනි දින දක්වා බීමත් රියැදුරන් දෙදහසක පමණ පිරිසක් අත්අඩංගුවට පත්වී ඇති බවත් පසුගිය පැය 24 තුළ තුන්සියයක පමණ පිරිසක් අත්අඩංගුවට පත්වී ඇති බවත් රථ වාහන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.

මේ රියැදුරන් සියලු දෙනාම පරීක්ෂණ අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයට පත් කර එම මෝටර් රථද පොලිස් බාරයට ගෙන තිබේ.

බීමත්ව රිය පැදවීම සම්පූර්ණයෙන්ම අවසන් කිරීමේ බලාපොරොත්තුව මත එසේ බිමත්ව රිය පදවන පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීති තද කර තිබේ.

ඒ අනුව මීට පෙර බීමත්ව රිය පදවන රියැදුරකු කොටු කර ගත් විට සාමාන්‍යයෙන් සිදු වූයේ අත්අඩංගුවට ගත් රියදුරු පසුදින අධිකරණයට ඉදිරිපත් කර දඩයක් ගසා රියැදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ ඊට අදාළව සිදුවන නීතිමය ක්‍රියාමාර්ගය සිදුවී රියැදුරු නිදහස් කිරීම වෙයි.

එහෙත් නව නීතිමය තත්ත්වය අනුව බීමත් රියැදුරු සහ වාහනය අත්අඩංගුවට ගෙන එම පරීක්ෂණ අවසන් වන තෙක් රියැදුරු බන්ධනාගාරගත කිරීම වෙයි. එසේ බන්ධනාගාරගතවීම සති දෙකතුනක් මාසයක් හෝ ඊටත් වැඩි කාලයක් විය හැකි වන්නේ පොලිසිය එම බීමත් රියැදුරා මත්පැන් සහ මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇත්තේ කොහෙන්ද යන්න සහ එම වාහනයේ හිමිකරුගෙන් ද ප්‍රකාශ ලබා ගැනීම ඇතුළු පරීක්ෂණයට අදාළ කරුණු ගණනාවක් හෙළි කර ගැනීම නව නීතියට අනුව සිදුවීම බව ද අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

මේ අතර බීමත් රියැදුරකු වෙනුවෙන් රුපියල් විසිපන්දහසක දඩය ක්‍රියාත්මකවීම තවමත් ක්‍රියාත්මක නොවන අතර, ගැසට් කිරීම පමණක් සිදුවී ඊට අදාළ යෝජනා කැඳවීම මේ වන විට සිදුවෙමින් පවතින බවත් එම දඩය නියම කර ක්‍රියාත්මක වීම සඳහා තවත් මාස දෙකතුනක් ගත විය හැකි බවත් නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. කෙසේ වෙතත් මේ උත්සව කාලයේ දී බීමත්ව රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම ඇතුළු රථ වාහන නීති උල්ලංඝනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පැය විසිහතර පුරාම නොකඩවා ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා රථ වාහන පොලිසියේ නිලධාරීන් අටදහසක පිරිසක් යොදවා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment