ජනපතිට එරෙහි දෝෂාභියෝගයක්: චෝදනාවලට ජනාධිපති නිහඬයි!


පොලිසිය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව ඊයේ (22) මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්‍ෂය විසින් එල්ල කළ චෝදනාවලට අද (23) නිසි පිළිතුරු ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇමැතිවරු කිහිපදෙනකු විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතා වෙත ලබා නොදී ජනාධිපතිවරයා සතුව තබාගත් බවද පසුගියදා සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලබා දිය යුතු බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහ ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

සිදුවූ බෝම්බ පිපිරීම් සහ ඒ පිළිබඳ ව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය පෞද්ගලිකව මහ ලේකම් වරයා ලෙස තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසන දයාසිරි ජයසේකර මහතා, අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කරයි.

අගමැතිගේ චෝදනාව 

ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා චෝදනා කර සිටියේය.

මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් 04 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳුදා මාධ්‍ය අමතමින් කියා සිටියේය. 

''ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයායි. එතුමා විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට කිසිවෙක් පත් කර තිබුනෙත් නැහැ. කාටවත් වගකීම් බාරදීලා තිබුනෙත් නැහැ." යයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලදුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබීය.

එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය පවසයි.

ජනාධිපති නිහඬයි :

පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතව සිට ඉරිදා රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම  චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. 

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

බුද්ධි අංශ විසින් ඉහත කී ආකාරයේ අනතුරු ඇඟවීමක් කරනු ලැබ තිබියදීත් ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගෙන ඇති බව පවසමින් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් කෝපය පළ වේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment