මේ මෛත්‍රීගේ හෝ වික්‍රමසිංහගේ පුරවරයක් නෙවෙයි - චම්පික කියයි

මේ මෛත්‍රීගේ හෝ වික්‍රමසිංහගේ පුරවරයක් නෙවෙයි - චම්පික කියයි

ලාංකීය ආර්ථිකයේ අළුත් ගමන් මගක් වෙනුවෙන් දැනුම පදනම් කරගත්, නවෝත්පාදනය මුල්කරගත් නව උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරමින්  රටේ ආර්ථික සිතියම ඉදිරි දශක කිහිපයේ වෙනස් කිරීමේ පළමු පියවර ඊයේ (22) තැබූ වගයි.

විධිමත් සැළසුමකට අනුකූලව කිසිම ආකාරයක පුද්ගලික අභිමතාර්ථයන්ට මුල්තැන නොදී මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහිදී සඳහන් කළේය.

මේ නවෝත්පාදන පුරවරය මෛත්‍රී පුරවරයක් නෙවෙයි. වික්‍රමසිංහ පුරවරයක් නෙවෙයි. කිසිම පුද්ගලික නම්ගම් වලින් තොරව මේ රජයේ ප්‍රතිපත්තියට අනුව සැබෑ ලංකා පුත්‍රයන්ගේ අනාගත පුරවරය බවට මේ පුරවරය අපි පත් කරන්න කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, ඊයේ (22) දකුණු ආසියානු කලාපයේ ක්‍රියාත්මක දැවන්ත නාගරික සංවර්ධන සැළැස්ම වන බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැළැස්මේ පළමු අදියර ලෙස හෝමාගම මාහේන ප්‍රදේශයේ ඉදිවන තාක්ෂණික නගරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා,

“අද දවස සාමාන්‍ය දිනයක්. අද මෙතන චාම් උත්සවයක්. නමුත් අනාගතයේ දිනක අද දිනය ඉතාමත් සුවිශේෂී දිනයක් වනු නොඅනුමානයි. ක්‍රි.ව. 1867 දි මෙවැනිම සාමාන්‍ය දිනයක ජේම්ස් ටේලර් ලංකාවට තේ වගාව හඳුන්වා දුන්නා. ඒ අවස්ථාවේදී කිසිවෙක් බලාපොරොත්තු වුණේ නෑ, ඒ තේ වගාව ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළටම ගෙන යන ප්‍රධානම වාණිජ වගාව බවට පත්වෙයි කියල. ඒ වගේම අපි බ්‍රිතාන්‍යයන්ගේ යුගය අවසන් කරනකොට තේ, පොල්, රබර් අපේ ප්‍රධාන වාණිජ වගාවන් බවට පත් වී හමාරයි.  අපේ අපනයනයේ ප්‍රධාන පාර්ශවකරුවා බවට පත්වී හමාරයි. ඊට ප්‍රථම ලන්දේසි යුගවලදී කුරුඳු, ඒ වගේම කෝපි වැනි වගාවන් අත්හදා බලා තිබුණත් මේ ජේම්ස් ටේලර්ගේ අත්හදා බැලීම තමයි ලංකාව ලෝක සිතියමේ වෙනස් ස්ථානයක ලෝක ගත කරන්න හැකියාව ලැබුණෙ.

ක්‍රි.ව. 1978 මේ වගේම සාමාන්‍ය දිනයක අපේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා කටුනායකට ගියා. කටුනායක අපනයන සැපයුම් කලාපයට මුල්ගල තබන්න. ඒ අවස්ථාවේ මහත් බලාපොරොත්තු ඒ ගැන ඇති කරගත්තත් පසුව තේ, පොල්, රබර් ආර්ථිකය, අපනයන අභිමුඛ ක්‍රියාවලිය පසුපසට දමමින් අපට හැකිවුණා ඇඟළුම් කර්මාන්තය ඇතුළු තාක්ෂණ කර්මාන්ත ගණනාවක් ඒ අපනයන සැපයුම් කලාප හරහා ඉදිරියට ගෙනයන්න. ඒ දිනය සාමාන්‍ය දිනයක් වුණත් පසුව අපට එය සුවිශේෂී දිනයක් බවට පත්වුණා.

අපි සියළු දෙනාම දන්නව මේ ලෝකය බරපතල ලෙස වෙනස් වෙන්නට නව නිර්මාණ තදින් බලපෑවා. විශේෂයෙන්ම මේ නව නිර්මාණවල ප්‍රධාන තෝතැන්න වුණේ චීනය. නමුත් මහා බ්‍රිතාන්‍යයේ විශේෂයෙන්ම 18 වන සියවසේ ඇතිවූ කාර්මික විප්ලවය යැයි අප හඳුනාගන්නා ඒ ප්‍රධාන ක්‍රියාවලියත් එක්ක ලෝකය වෙනස් වෙන්න පටන් ගත්තා. එය ආරම්භ වුණේ ක්‍රි.ව. 1760 දි හාග්‍රිව්ස් නැමති පුද්ගලයා රෙදි කටින මැෂිම, කුවේණියගේ රෙදිකටින මැෂිමේ ඵලදායීතාවය අට ගුණයකින් ඉහළ නංවන යන්ත්‍රයක් තැනීමෙන් තමයි ඒ ක්‍රියාවලිය ආරම්භ වුණේ.

ඉන් පසුව අපට පෙනෙනව යුග ගණනාවක් හරහා ඒ කාර්මික විප්ලවය ගමන් කළා. පළමුවෙන්ම පළවෙනි අවුරුදු 100 ඇතුළත ශ්‍රමය වෙන්වට යන්ත්‍ර ඉදිරියට ඇවිල්ල යාන්ත්‍රික බලය ශ්‍රමය විස්තාපනය කළා. ඊට පස්සේ අප සියළුදෙනාම දන්නා පරිදි 1860 දී පමණ පොසිල ඉන්ධන ගල් අඟුරු, තෙල්, ගෑස් සම්පත. විශේෂයෙන්ම මෙතෙන්දි ඉතා වැදගත් චරිතය ජෝන් දි රොකෙෆිලර් සහ ඔහුගේ ස්ටෑන්ඩරඩ් ඔයිල් සමාගම මේ ලෝකයේ ඉතිහාසය බරපතල ලෙස වෙනස් කළා. වෙනස් කරල ෆොසිල ඉන්ධන යුගයක් ලෝකයට හඳුන්වා දුන්නා. අදටත් අපේ ආර්ථීක ක්‍රියාවලියෙන් 80% ක් තීරණය වෙලා තියෙන්නේ තෙල්, ගල්අඟුරු සහ ගෑස් මතයි. හැබැයි ඒ යුගය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා.

ඒ වගේම අපි අද ඉතාමත් ආඩම්බරයෙන් චන්ද්‍රිකා තාක්ෂණය සඳහා පළමු පියවර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය තබනව. මේ ලෝකයේ චන්ද්‍රිකා මගින් පණිවිඩ හුවමාරු කිරීමේ සන්නිවේදනයේ විප්ලවයක් කළ හැකි බවට සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ආතර් සී ක්ලාක් මැතිතුමා 1945 දි. ඒ අවස්ථාවේදී ඒ ගැන වැඩි අවධානයක් යොමු වුණේ නෑ. එතුමට ඒ ලිපියට හම්බුණේ පවුම් 15 යි. නමුත් අද ඒක මුළු ලෝකය වෙනස් කරන මහා සන්නිවේදන ක්‍රියාවලියක් බවට කොටින්ම පාර යථාර්ථයක් බවට අපේ ලෝකයේ ගොඩනගන තත්ත්වයට 2010 වෙනකොට පත් වුණා. දැන්  2010න් පස්සේ ලෝකය නව යුගයකට පිවිස තිබේ. මිනිසා විසින් නිර්මාණය කරපු පාර යථාර්තයත් ඔහුගේ භෞතික යාථාර්ථයත් එකට එකතු වෙන සුහුරු ලෝකයකට එහෙමත් නැත්නම් ස්මාර්ට් ප්ලැනට් එකකට රට, ලෝකය, පුද්ගලයා ගමන් කරමින් තිබෙනවා. අපිත් මේ වේගවත් ගමනට එකතු විය යුතුයි. අන්න එතනදි තමයි මේ නවොත්පදානය අපට එක පැත්තකින් තාක්ෂණය පැත්තෙන් වැදගත් වෙන්නෙ. 

ආර්ථිකමය වශයෙනුත් අපට මේ නවෝත්පාදනය ඉතා වැදගත්. අපි 1978 අපනයන සැපයුම් කලාපය හදල කිව්වෙ ලාභ ශ්‍රමය මෙහෙ තියෙනවා. ලාභ බලශක්තිය තියෙනව. ලාභ සම්පත් තියෙනව. පරිසර නීති ලිහිල්, එන්න අපේ රටේ ආයෝජනය කරන්න. රැකියා උත්පාදනය කරන්න, අපනයන භාණ්ඩ සකසන්න කියලයි අපි විදේශ ආයෝජකයින්ට ආරාධනා කළේ. නමුත් අද ඒ තත්ත්වය අපට නෑ. අද අපේ රටේ ලාභ ශ්‍රමයවත්, ලාභ බලශක්තියවත් , ලාභ සම්පත් වත්, ලාභ පරිසර පද්ධතියක්වත් අප සතුව නෑ. ඒ නිසා ඒ උපාය මාර්ගය මගින් ආයෝජකයන් ආකර්ශනය කරන්න අද අපිට හැකියාවක් නෑ. ඒ නිසා තමයි අළුත් ආයෝජන හැකියාවක් ලෙස, අළුත් රැකියා උත්පාදනය කරන ක්‍රියාදාමයක් ලෙස අපි නවෝත්පාදනය හඳුනාගත්තේ. 

2013 දි අපි තාක්ෂණ අමාත්‍යාංශයේ සිලින්ටෙක් ආයතනය හරහා විශාල මෙහෙවරක් අපේ විද්‍යාඥයො 600 ක් පමණ එකතුවෙලා නවොත්පාදනය හරහා ආර්ථිකය ඉදිරියට ගෙනයාමේ විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා.

ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ රට ඉදිරියට ගෙනයන්න නම් අපි ඒ සැළසුම පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ යුතුයි. අද දළ දේශීය නිෂ්පාදනයෙන් 1% ක වර්ධනයක් ළඟාකරගන්න අපට සිද්ධවෙලා තියෙනව දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5% ක් ආයෝජනය කරන්න. නමුත් අපි නවෝත්පාදනයට ඒ ආයෝජනය කළොත් අපට ඊට වඩා ඉතාම කාර්යක්ෂමව මේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය ළඟා කරගන්න පුළුවන්. අපට සාමාන්‍යයෙන් 5% ක 6% ක දල දේශීය නිෂ්පාදනයක වර්ධනයක් අපේ නිෂ්පාදන ශ්‍රිතය අනුව ලැබෙනව. නමුත් ඒක 8% ක් 9% ක් කරන්න නම්අනෙක් ලෝකය අභිබවා යන ආකාරයේ වර්ධනයක් අත්පත් කරගන්න නම් එකම මාවත නවොත්පාදන මාවත පමණයි.

ඒ නිසා මෙම නව තාක්ෂණ මධ්‍යස්ථානය නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, ජීව තාක්ෂණය, පරමාණුක තාක්ෂණය, ඒ වගේම අභ්‍යවකාශ තාක්ෂණය ආදී තාක්ෂණයන්ගෙනුත් විශේෂයෙන්ම අප රට තුළ සීග්‍රෙයන් වර්ධනය වන තොරතුරු තාක්ෂණය හා ඒහා බැඳුණු රැකියා උත්පාදනය මුල්කර ගත් මහා නාගරික කලාපයක් මේ කහතුඩුව පිවිසුමේ සිට කඩුවෙල පිවිසුම දක්වා අධිවේගී මාර්ගයට නැගෙනහිර පසින් අපි ඉදිරි කාලයේදී ඉදිකරන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපේ විශ්වවිද්‍යාල, තාක්ෂණ විද්‍යාල සියල්ලම මෙතැනය පැමිණෙනව වගේම ඒ වෘත්තීයවේදීන්ට අවශ්‍ය කරන වෘත්තීයවේදීන්ගේ නිවාස සංකීර්ණ සමඟ සියළු පහසුකම් සහිත නගරයක් බවට මේ ප්‍රදේශය අනාගතයේ පරිවර්ථනය වෙන බව අපි සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. 

ඒ අනුව මේ නව යුගයක ආරම්භය සාමාන්‍ය දිනයක වුවත් අසාමාන්‍ය අනාගතයකට මුල් පියවර තබන දිනය. ඒ සඳහා සාක්ෂිකරුවන්වීමට හවුල්කරුවන්වීමට, පෙරගමන්කරුවන්වීමට පැමිණි ඔබ සියළු දෙනාටම අපේ ස්තුතිය.

විධිමත් සැළසුමකට අනුකූලව කිසිම ආකාරයක පුද්ගලික අභිමතාර්ථයන්ට මුල්තැන නොදී මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බව ඔබට ප්‍රකාශ කරනව.

මේ නවෝත්පාදන පුරවරය මෛත්‍රී පුරවරයක් නෙවෙයි. වික්‍රමසිංහ පුරවරයක් නෙවෙයි. කිසිම පුද්ගලික නම්ගම් වලින් තොරව මේ රජයේ ප්‍රතිපත්තියට අනුව සැබෑ ලංකා පුත්‍රයන්ගේ අනාගත පුරවරය බවට මේ පුරවරය අපි පත් කරන්න කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

අද දින ආරම්භ වූ මෙම තාක්ෂණික නගරය තුළ රටේ මුල් පෙළේ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රය් නිරත ප්‍රධාන ආයතන වන මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ජාතික විද්‍යා ආයතනය මෙහි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය. මෙම ආයතන විසින් මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය රුපියල් මිලියන 2096 ක්ද, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය රුපියල් මිලියන 3000 ක්ද, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය රුපියල් මිලියන 1700 ක් පළමු අදියරේදී ආයෝජනය කරනු ලබයි. ඒ අනුව පළමු පියවරේ සමස්ථ ආයෝජනය රැපියල් මිලියන 19796 කි. මීට සමගාමීව මාකුඹුරේ සිට උඩුවන දක්වා මංතීරු 04 ක මහා මාර්ග සංවර්ධනයද ආරම්භ විය.

තාක්ෂණ නගරයේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් සහ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු යන මහත්වරුන් ඇතුළු විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment