හොරෙක්-මිනීමරුවෙක් නොවන 'නාමල'
නාමල් රාජපක්ෂ කියන්නේ හොරෙක් කියා කියන්නට බැරි ය. ඒ, මේ ලංකාවේ කිසිම අධිකරණයකින් ඔහු හොරෙකු කර නැති නිසා ය. නාමල් රාජපක්ෂ කියන්නේ මිනීමරුවෙක් ය, මිනී මරන්නට අනුබල දුන්නෙක් ය කියන්නට ද නොහැකිය.
මේ රටේ කිසිම අධිකරණයකින් ඒ ජාතියේ තීන්දුවක් දී ද නැත. නාමල්ගේ ලේකම් ඔරනෙලා ද සිල්වා පවා ලොකු සද්ද දා ඩුබායි රටේ සිට කුදලාගෙන ආවා කිව්වාට, එයාර්පෝට් එකෙන් ගොඩබහිනකොටම අත්අඩංගුවට ගත්තා කිව්වාට ඇඳුම් මාරු කරපු ගමන් ඇයට ද ඇප ලැබිණි. ඇදුම් මාරු කරපු ගමන් කියන විශේෂණ පදය දැම්මේ කෙහෙල්කැන් හොරකමකට වුවත් අත්අඩංගුවට ගන්නා අපේ ජාතියට නම් එහෙම ඇතුළේ දී සැලකිලි බොරු නිසා ය. පාරට බර වූ අඹ ගෙඩි තුනක් කැඩූ අවුරුදු හැට හතරේ අම්මා පැය විසි හතරක් පොලිස් කූඩුවේ ලැග්ගේ වතුර උගුරක්වත් නැතුව ය. වටේ පිටේ ගියේ කතාවට ටිකක් පසුබිම හදාගන්නට ය. නාමල් රාජපක්ෂලාට දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විශ්වාස බව ද මෙතැන ලියන්නට ඕනෑ ය. තියෙන කොට එහෙමයි, නැති කොට මෙහෙමයි කියන්නේ ඔය වගේ අවස්ථාවලදී ය. ඒ කාලයේ ඔය කියන කොමිසමට ලියුමක් දැම්මත් එය රාජ්‍ය විරෝධී වැඩකි. දේශද්‍රෝහී වැඩකි.
මං හොඳ ළමයෙක් කියන නාමල්
2015 ජනවාරි 08 වන දා මේ රටේ ලක්ෂ 62 ක් ජනතාව මේ ආණ්ඩුව බලයට පත්කරන්නට ඡන්දය දුන්නේය. ඒ, මේ පිරිස රට ස්වයංපෝෂිත කරන නිසා නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන ගිය අත්තනෝමතික පාලනය පරාජයට පත්කිරීම සඳහා ය. ඒත් සීයට සීයක් විශ්වාස නැතත් ජනතාව මේ අයව ටිකක් විශ්වාස කළේය. අවුරුදු තුනකට ළං වෙනකොට ඒ විශ්වාසය කියන එකට නම් සෑහෙන්න දේ සිදු වී හමාර ය.
ඒත් තවදුරටත් පසුගිය ආණ්ඩුවේ දූෂණයට-භීෂණයට එරෙහිව විමර්ශන ඉදිරියට යන්නේය. නාමල් රාජපක්ෂලාට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇත. කොමිස් කාක්කන් වූ සැටි හෙළිවෙමින් තිබේ.
මේ සියල්ල තවමත් විමර්ශන මට්ටමේ තිබෙන දේ ය. ඒ නිසා ඇතැම්හු මෙසේ කියති.
”ඔය මොන චෝදනා කළත් තවම එකක්වත් ඔප්පු කරගන්න පුළුවන් වුණාද, ඕවා බොරු කතා.” මහින්ද රාජපක්ෂ කාලයේ යුක්තිය හොයන්නට තිබුණේ සුදු වෑන් ය. කප්පම් කල්ලි ය. අත්තනෝමතික දෝෂාභියෝග නාඩගම් හරහා අගවිනිසුරුවරුන් ගෙදර යැවීම් ය. දැනට ඒවා නැත. ඒත් සහතික දෙන්නට නොහැක. කියන්නට හැදුවේ වෙන කතාවකි. ජනතාව ඔය විදිහට කියන විට ෆෝම් වන නාමල් රාජපක්ෂලා මෙසේ කියති.
”මං ඔය මොකුත් කරලා නෑ. මාව මිනීමැරුම්වලට අහුකරන්නට හදනවා. මාව දූෂණ-වංචාවලට අහුකරන්නට හදනවා. ඕවා බොරු.
” ඇත්තටම ගත්තොත් ඒ කතාවේ අවුලක් නැත. නීතිය ඉදිරියේ සාධාරණ නඩුවිභාගයකින් පසු තමන් වැරදිකරුවකු කරන තුරු ඕනෑම වැරදිකරුවකුට ‘මං නිවැරදියි’ කියන්නට අයිතියක් තිබේ. අනෙක් ඇත්තන්ටද තමන් කැමැති මතයක් දරන්නට හැකිය.
ඒත් පොලීසිවලට හෝ උසාවිවලට එසේ තමන් කැමැති මත දැරිය නොහැකිය. ඒ නිසා මේවාට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කළ යුතුය. මං හොඳායි කියන ඇත්තන්ගේ පැටිකිරිය හෙළිදරව් කළ යුතුය. එසේ නොවන තාක් පොඩි’වුන් දැලට අහු වනු ඇත.
ක‍්‍රිෂ් ගැන දන්නෙවත් නැති බබා නාමල්
අර චෝදනා, මේ චෝදනා අස්සේ ක‍්‍රිෂ් ගනුදෙනුවට අදාළ චෝදනාව ද නාමල්ට තිබේ. රුපියල් මිලියන හැත්තෑවත්-සීයත් අතර අතිවිශාල මුදලක් සාක්කුවේ දමා ගැනීම සම්බන්ධයෙන් ය, මේ නිකැලැල් නාමල්ට චෝදනා එල්ල වී ඇත්තේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප‍්‍රකාශයක් දෙමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පවසා තිබුණේ මිලියන 70ක් 100ක් තියා සතයක්වත් මං අරන් නෑ කියා ය. ඒත් රස්සා නොකළ නාමල්ට සමාගම් තිබෙන බවත්, නන්දන ලොකුවිතානලා ලොකු බිස්නස්කාරයන් කරන්නට හයියක් තිබූ බවත් කිව යුතුය. ඒවා කියන්නේ අප නොවේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ මීට අදාළව ඇති පැමිණිල්ලේ මෙසේ සඳහන් ය. ‘කොළඹ, කොටුව ට‍්‍රාන්ස්වර්ක් චතුරස‍්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේ දී සිදු වී ඇති මූල්‍ය වංචාව (කි‍්‍රෂ් ගනුදෙනුව) සම්බන්ධ විමර්ශනය.’ ඒ කියන්නේ රටේ අගනගරයේ, ප‍්‍රධාන වාණිජ නගරයේ අපේ දේපොළ උන්ට ඕනෑ හැටියට බදු දී තිබේ. මේ කි‍්‍රෂ් ගනුදෙනුව සිදු වී ඇත්තේ අදෘශ්‍යමාන සමාගමක් හරහා බව ද එකල කියැවිණි. ඒත් ඒවා ඒ හැටි දුර ගියේ නැත.
FCID මේවා කිව්වා කියා පිළිගන්නට ඕනෑ කියා එකක් නැත. ඒක අධිකරණයට බාර වැඩකි. ඒත් සතෙන් සතේ රුපියල රුපියල එකතු කරලා එකතු කරලා ගෙවල් හදන්නාක් මෙන් ඔවුන් සියල්ල එකින් එක එළියට ගන්නා විට ඒවා ලෙහෙසියන් බැහැර කළ නොහැකිය. මේ ටික බැලූ පසු ඉතිරිය කිව හැකිය.
”.... එහි දී නිමල් හේමසිරි පෙරේරා විසින් HSBC බැංකුවේ සහ සම්පත් බැංකු ගිණුම්වලින් නිකුත් කරන ලද චෙක්පත් බැර වූයේ කුමන ගිණුමට ද යන්න අනාවරණය කරගැනීම සඳහා එම බැංකුවල කළමනාකරුවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කළ අතර, එමඟින් එම චෙක්පත් බැර වී ඇත්තේ කිෂින් රාම්චන්ද් බූටානි යන අයගේ බැංකු ගිණුම්වලට බව....”
හතර දෙනෙක් සෙන්පතියෝ පිටපත් ලියූ නාමල්
මේ නිමල් හේමසිරි පෙරේරා කියන්නේ දකුණු ආසියාවේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අතර සිටින ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික සගයා ය. විපක්ෂ නායක කාලයේ රනිල් වික‍්‍රමසිංහ වරක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ප‍්‍රකෝටිපතියන් වූ හතර දෙනකු ගැන කිව්වේය. ඔහු ඔවුන් හැ`දින්වූයේ 4P'sකියා ය. ඒ ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, සුමල් පෙරේරා සහ අශෝක් පතිරගේ ය. ඒ කියන්නේ මේ පී අකුරෙන් නම් ඇති හතර දෙනාගෙන් අයකු වන නිමල් පෙරේරා මේ මූල්‍ය වංචා චෝදනා කතාවේ චෙක්පත් ඔස්තාර් ය.
”...... ඉහත සම්පත් බැංකුවේ HSBCබැංකුවේ ගිණුම්වල මුදල් තැන්පත් වීමෙන් පසුව එම තැන්පත් වූ මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීමේ දී නිමල් පෙරේරා යන අයගේ HSBC බැංකු ගිණුමට අදාළව නිකුත් කරන ලද චෙක්පත් අංක 331894 දරන චෙක්පත් මඟින් 2012.10.19 වන දින රුපියල් මිලියන 60ක මුදලක් ද, 2012.12.08 වන දින HSBC බැංකුවේ අංක 332532 දරන චෙක්පත මඟින් රුපියල් මිලියන 38 ක් ද, එදිනම සම්පත් බැංකුවේ අංක 206246 දරන චෙක්පත මඟින් රුපියල් මිලියන 90 ක් ද කිෂින් රාම්චාන්ද් බූටානිට ලබා දී ඇත.”
කිෂින් රාම්චන්ද් බූටානි නමැත්තා සමඟ ඉඩම් ගනුදෙනුවක් කර ඇති මේ නිමල් පෙරේරාට මේ ආකාරයෙන් අමුතු විදිහට මුදල් තොගයක් ලැබී ඇතැයි හෙළි වී තිබේ.
”...... මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු පැවැත්වීමේ දී නිමල් හේමසිරි පෙරේරාට අයත් එන්.කැපිටල් සමාගම නමින් අංක 07/01, ගවර් ස්ටී‍්‍රට්, කොළඹ 05 ලිපිනයේ පිහිටි ඉඩම මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරමින් අත්තිකාරම් මුදලක් ලබා දී ඇති 2012.10.19 වන දිනට ආසන්නතම දිනයක් වන 2012.10.18 වන දින ක‍්‍රිෂ් සමාගම මඟින් නිමල් හේමසිරි පෙරේරා යන අයට අයත් HSBC ගිණුම් අංක 006040042001 දරන ගිණුමට රුපියල් මිලියන 40 ක් ද, 2012.11.19 වන දින රුපියල් මිලියන 10 ක් එම ගිණුමට ද බැර වී ඇති බවට හා ක‍්‍රිෂ් සමාගම මඟින් ම ලබා දෙන ලද රුපියල් මිලියන 20 ක් වටිනා අංක 633216 දරන චෙක්පත 2012.12.18 දින නිමල් හේමසිරි පෙරේරාට අයත් සම්පත් බැංකුවේ 002950014922 දරන ගිණුමට බැර වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
” එනම් ක‍්‍රිෂ් සමාගම නිමල් පෙරේරාට දැවැන්ත මුදලක් ලබා දී තිබේ. නිමල් පෙරේරා යනු ධම්මික පෙරේරාගේ බිස්නස් පාට්නර් කෙනෙකි. ගනුදෙනු සිදු වී ඇත්තේ ඔවුන්ගේ පාලනය යටතේ පවතින සම්පත් බැංකුව වැනි වාණිජ බැංකු හරහා ය. ඒ වගේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ මොවුහු සල්ලි ඉල්ලම් බවට පත් වූහ.
ලොකුවිතාන නාඩගමේ ඉත්තො ඇද්ද නාමල්
ඉන්පසු මේ අතරට නන්දන ජයදේව ලොකුවිතාන ද පැමිණ තිබේ. නන්දන ජයදේව ලොකුවිතාන යනු මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතම ව්‍යාපාරික සගයෙකු ලෙස ප‍්‍රකට අයෙකි. කුප‍්‍රකට ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු ලෙස පෙනී සිටින්නේ ද මේ ලොකුවිතාන ය. සජින් ද වාස් ගුණවර්ධන හරහා ය, ඔහු රාජපක්ෂ පවුලේ සමීපතමයකු බවට පත්වන්නේ. ශ‍්‍රී ලංකා වානේ සංස්ථාව නමින් පෙර පැවැති ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 77 කට මිලට ගෙන ඇත්තේද මේ ලොකුවිතාන ම ය. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සමූහය මඟින් අනාවරණය කරන ලද සුප‍්‍රකට පැනමා පේපර්ස්වල ද මේ ලොකුවිතානගේ නම සඳහන් වී තිබේ. මේ සියල්ල පැත්තකට දමා ඔහු ගැන හරියටම කියන්නේ නම්, මහින්ද රාජපක්ෂ කාලයේ හදිසියේ කෙහොම හෝ හිතාගන්න බැරි තරම් ධනවත් වූ අයෙකි.
”...... එසේ හෙයින් මේ ගනුදෙනුවට සම්බන්ධ වී ඇති කිෂින් රාම්චන්ද් බූටානිට අයත් NDB බැංකුවේ සහ පෑන්ඒෂියා බැංකුවේ ගිණුම්වලද, නිමල් හේමසිරි පෙරේරා යන අයට අයත් HSBC බැංකුවේ සහ සම්පත් බැංකුවේ ගිණුම්වලද, එන්.කැපිටල් ආයතනයේ නමින් හා නන්දන ජයදේව ලොකුවිතාන යන අයගේ ජාතික හැඳුනුම්පත් අංක 683530972ඩ ට අදාළව පවත්වාගෙන යනු ලබන සියලූම වාණිජ බැංකු ආයතන මඟින් මුදල් හුවමාරු වී ඇති ආකාරය සම්බන්ධයෙන්....”
ඉදිරියේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනය කළ යුතුව ඇත්තේ නන්දන ජයදේව ලොකුවිතාන ළග සහ නිමල් පෙරේරා ළග කැරකුණේ කාගේ සල්ලි කුට්ටිද කියන එක ය. කි‍්‍රෂ් සමාගම මේවාට සම්බන්ධ වූ ආකාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ඔවුන් සතු බව හෙළි වේ. ඒවා විමර්ශන වාර්තා අතරින් එළියට එන්නට නියමිත දේ ය.
ආර්.කේ., ඒ.එම්. වගේ එන්.ආර්. හැදූ නාමල්
නාමල් රාජපක්ෂ මේ ක‍්‍රිෂ් ව්‍යාපෘතියේ අහුකොන් ගැන දන්නේ නෑමයි කිව්වාට ඇමරිකානු ඩොලර් මිලියන 650 ක වටිනාකමකින් යුත් මේ ව්‍යාපෘතියට අදාළ සියලූ ගිවිසුම් සකස් කර ඇත්තේ එන්.ආර්.ඇසෝසියේට් නම් නීතිඥ සමාගමයි. මේ නීතිඥ සමාගම කියන්නේ නාමල් රාජපක්ෂට අයත් එකකි. ඒ කියන්නේ බැඳුම්කර කොමිසමේ දී ආර්.කේ. කියන්නේ රවී කරුණානායක බව හෙළි වුණා සේම, ඒ.එම්. කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් බව හෙළි වුණා සේම, එන්.ආර්. කියන්නේ නාමල් රාජපක්ෂ ය. වැඬේ කියන්නේ බලය දමා යන්නට නොව, බලය සදාකාලික කරගන්නට සිතූ ඔවුන් මේවා අනීතික අන්දමින්ම පවත්වාගෙන යාම ය. දැන් එළියට මේ සුදු අඳින මහත්තුරුන්ගේ ඒ කළු වැඩ ය.
විපක්ෂ නායක රනිල්, අගමැති රනිල් සහ නාමල්
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඒ දවස්වල දිගින් දිගටම කිව්වේ මේ ක‍්‍රිෂ් ව්‍යාපෘතියේ දී දැවැන්ත කොමිස් ගනුදෙනුවක් සිදු වී ඇති බවයි. එහි දී නාමල් රාජපක්ෂ දැවැන්ත කොමිස් මුදලක් ලබාගෙන ඇති බව ඒ විපක්ෂ නායකවරයා කිව්වේය. ඔහුගේයටතේ ඇති අමාත්‍යාංශයක නියෝජ්‍ය ඇමැතිවරයකු වන හර්ෂ ද සිල්වා ද ඒ ගැන මාධ්‍යවලට ලිපි ලිව්වේය. වැඬේ කියන්නේ දැන් බලය තියෙන වෙලාවේ ඔවුන් ඒ ගැන කිසිවක් කතා නොකිරීම ය. දැන් රනිල්ට ඒවා අමතකද, හර්ෂ ඒවා අමතක කරලාද, නැතහොත් අධිකරණයට ඒ සම්බන්ධ යුක්තිය පසිඳලන්නට ඉඩ දී පසෙකට වී සිටිනවාද යන්න හරියටම කියන්නට තවම කල් වැඩි ය.
කෙසේ වෙතත් අධිකරණ පද්ධතිය මෙවැනි පොදු දේපොළවලට අපරාධ කළ’වුන්ගේ ඉරණම් කඩිනමින් විස`දිය යුතුය. ඒක ඒ ආණ්ඩුවටත්, මේ ආණ්ඩුවටත් දෙකට ම පොදු කාරණයකි. බලේ තියෙන කොට මොළේ නෑ, මොළේ තියෙන කොට බලේ නෑ කියමින් බළලූන් ලවා කොස් ඇට බාන්නට හැදුවහොත් කාට-කාටත් සරුවාංගයම පුච්චාගන්නට සිදු වන එක නම් සහතික ය.
-පරාක‍්‍රම දිසානායක
0 comments :
Post a Comment