රටේ කාන්තා මරණ තුනෙන් පංගුවක වගකිවයුත්තා ළඟම සහකරුවා.
ශ්‍රී ලංකාවේ කාන්තා මරණ වලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකට බලපා ඇත්තේ සමීපතම සහකරුවාගේ හිංසනය බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
එවැනි සිදුවීම් වලින් 69% පමණ වාර්තා නොවන බව ද, ‘මෙරට අකල් ස්ත්‍රී මරණ සඳහා මුල් වුනු හේතු සාධක පිළිබඳව විමසුමට’ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැළණි විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදු කළ සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇත.
UNFPA ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් ගේ ප්‍රධානත්වයෙන් 5 සඳුදා කොළඹ දී පැවැත්වුණු සාකච්ඡා මණ්ඩපයකදී අධ්‍යයනයේ සංක්ෂිප්ත වාර්තාව එළිදැක්වුනි.
පුළුල් වැඩපිළිවෙලේ හිඩැස්
වසර 3 ක අධ්‍යනය මඟින් විමසුමට ලක් කළ ඝාතන 243 කින් 128 ක වරදකරු බවට පත්ව ඇත්තේ මියගිය කාන්තාවගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ය.
ඉන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය මිනි මැරුම් නඩු සංඛ්‍යාව සියයට තිහකි.
එසේම නඩු පැවරූ අවස්ථාවේ සිට එය අවසන් කිරීම දක්වා ගතවී ඇති සාමාන්‍ය කාල පරාසය වසර 3 කි.
“අපරාධකරුවන් භුක්ති විඳින නිදහස සහ ඔවුන්ගේ ක්‍රියා මඟින් උද්දීපනය වන භීතිය සමස්ත සමාජයටම බලපෑම් එල්ල කර තිබෙනවා,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත රිට්සු නකෙන් ප්‍රකාශ කළාය.
“රජය, කාන්තා සංවිධාන, එක්සත් ජාතින් සහ අනෙකුත් පාර්ශව පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබුණත් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වූවන්ට අවශ්‍ය කෙරෙන ආරක්ෂාව, සෞඛ්‍ය සහ නීතිමය උපකාර වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශ පහසුකම් ඉතා අවම මට්ටමක පවතිනවා.”
මාධ්‍යයට දොස්
ශ්‍රී ලංකාවේ පුවත්පත් විසින් කාන්තාවන් සහ ගැහැණු දරුවන් ගේ අකල් මරණ වාර්තා කරන ආකාරය පිළිබඳව ද සාකච්ඡාවේදී විවේචනයට ලක්වී තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, එම විශ්වවිද්‍යාලයේම අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය සහ ප්‍රධාන විමර්ශිකා මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මෙම සාකච්ඡාවේ මුලසුන හෙබවූ අතර පර්යේෂණය මෙහෙයවූ කොළඹ විශ්වවිද්‍යාල සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය සුභාන්ගි හේරත් සහ එම සරසවියේ ම හිටපු නීති විශාරද සාවිත්‍රි ගුණසේකර එම අවස්ථාවට සහභාගී වුහ.
තුවාලයකින්, කම්පනයකින් හෝ විෂ පානය කිරීමකින් වැනි බාහිර හේතු මත සිදු වූ කාන්තා මරණයක්, මිනී මැරුමක්, සිය දිවි නසා ගැනීමක්, හදිසි අනතුරක් යැයි හෝ හේතු නිර්ණය කරගැනීමට නොහැකි වූ අවස්ථාවක් පළාත් 5 ක් මුලික කරගනිමින් සිදු කළ අධ්‍යයනය මගින් අස්වාභාවික මරණ ලෙස හඳුන්වා දී ඇත.
0 comments :
Post a Comment