“යමක් අතීතයෙහි සිදු වීද ඉන් යහපතක්ම විය. යමක් සිදු වෙමින් පවතීද? සිදුවෙමින් පවතින්නේද යහපතකි. යමක් ඉදිරියට සිදු වෙයිද ඉන් සිදු වන්නේද යහපතකි . ඔබ කවර දෙයක් නැති වුනු දුකින් හඬන්නෙහිද? ඔබට මෙහි නැතිවන්නට, ඔබ එන විට ගෙන ආ කිසිවක් වෙත්ද? විනාශ වන්නට ඔබ කිසිවක් මැවූවෙහිද? ඔබ සතු යම් දෙයක් වෙයිද –එය ඔබට ලැබුනේ මෙහිදීය. ඔබ කිසිවක් දුන්නෙහිද? එය ඔබ දුන්නේද මෙහිමය. ඔබ යමක් නතු කර ගත්තෙහිද? එය ඔබ නතු කර ගත්තේ දෙවියන්ගේ අතිනි. ඔබ දුන් දෙයක් වේ නම් එය දී ඇත්තේද දෙවියන්ටමය. ඔබ හිස් අතින් පැමිණියෙහිය. ඔබ යන්නේ හිස් අතිනි. අද ඔබ සතු දෙය , පෙර අයිති වුයේ අනෙකෙකුටය. හෙට එය තවත් අයකු සතු විය හැක. ඔබ ඔබේ යයි සිතා රසවිඳි සියලු දෑ වැරදීමකින් රස විඳි දේය. ඒ සාවද්‍ය සතුට ඔබගේ ශෝකයට හේතුවයි. අර්ජුන, ඔබ නොහඬන්න”- භගවත් ගීතාව
මහාභාරතය යනු මනුෂ්‍ය ලෝකය සහ එහි පැවැත්ම පිළිබඳවද, බලය, තෘෂ්ණාව, ධර්මය, අධර්මය ,දේශපාලනය ආදී එකිනෙකට බද්ධ වූ සංකල්ප රැසක් පිළිබඳව ද ලියවුනු රමණීය, දාර්ශනික අසමසම වීර කාව්‍යයකි. එහි කොටසක් වන භගවත් ගීතාව යනු බල දේශපාලනය, යුද වේදය සහ හදවතින් අඩක් තමා ප්‍රේම කරන සතුරා සහ සොයුරා විනාශ කිරීම පිළිබඳව දැඩි විචක්ෂණයකින් ලියවුනු ක්‍රිෂ්ණා සහ අර්ජුන අතර සිදුවන දාර්ශනික හර්දය සංවාදයයි. ඉහත උදෘතය උපුටා ගැනෙන්නේ තමා විනාශ කිරීමට සැරසෙන්නේ තමා ලෙයින් බැඳුනු සිය ඥාති සොයුරන් බව මතක් වන අර්ජුන සිය දුනු හී බිම තබා ශෝක වන අවස්ථාවේ ඔහුගේ ආත්මීය මිත්‍රයා වන ක්‍රිෂ්ණා විසින් ඔහුගේ ශෝකය දුරු කර සැනසීම සඳහා කියනු ලබන අමරණීය අවවාදයයි.
“යමක් අතීතයෙහි සිදු වීද ඉන් යහපතක්ම විය”
මහාභාරත වීර කාව්‍යයෙහි යුද්ධය ට එළඹෙනුයේ කුරු ගෝත්‍රයෙහි ඥාතීන් දෙකොටසක් වන කෞර්වයන් සහ පාණ්ඩවයන්ය. කෞරව සහ පාණ්ඩව ඥාති සොයුරන් දෙපිරිසක් දාදු ක්‍රීඩාවෙහි නියලෙති. ලන්සුව වන්නේ පරාජය වන්නන් වසර දහතුනක් සිය රාජ්‍යයෙන් ඉවත්ව විප්‍රවාසව (exile) සිටිය යුතු බවය. මෙම ක්‍රීඩාවේදී කෞරවයකු වන දුර්යෝජන වංචනික ලෙස ජයග්‍රහණය කරන අතර පාණ්ඩවයෝ පොරොන්දු වූ පරිදි වසර දහතුනක් සිය රාජ්‍යය අතහැර සිට එය නැවත ලබා ගැනීමට පැමිණෙති. මෙහිදී දුර්යෝජන මෙයට අකැමති වීම නිසා කෞරව – පාණ්ඩව යුද්ධය හට ගන්නා අතර එහි අවසන් තීරණාත්මක සටන දින දහ අටක් පුරාවට සිදු වනුයේ කුරුක්‍ෂේත්‍ර නමැති ස්ථානයේය.
බොහෝ කලක් ශ්‍රී ලාංකික දේශපාලනයේ නියැලුණු රනිල් වික්‍රමසිංහ ගේ අවසාන කුරුක්ෂේත්‍ර සටන හෙවත් විශ්වාස භංගය යෙදී ඇත්තේ 2018 අප්‍රේල් 4 වනදාටය. අප්‍රේල් 4 වනදා සිට දින දහ අටක් පිටුපසට ගණන් කල හොත් එය රනිල් ගේ 69 වන උපන් දිනය වන 2018 මාර්තු 24 වන දා සමග අතිපිහිත වෙයි. දශක ගණනාවක් දේශපාලනඥයකු විසින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දරා ගන්නට යෙදුනු මනුෂ්‍යත්වයට තරම් නොවන අශෝභන නින්දා, ගැරහුම්, පරාජයන්, පාවා දීම්, පීඩාවන් තවුසකුගේ මුනිවතින් සහ සිත් පිත් නැති අජීවී තාදී ගුණයෙන් ඉවසූ රනිල් අප්‍රේල් 4 වනදා විශ්වාස භංගය පරාජය වුවහොත් සිය දේශපාලන කුරුක්‍ෂේත්‍රය මත සිය දුනු හී බිම තබා රනිල් යුගය නිමා කරනු ඇත. ඒ ද, එය සංශෝධිත ව්‍යවස්ථාවෙන් ඔහු මත පැටවෙන අවියෝජනීය නීතියක් නිසා නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමග සවිඥානික, ආත්මීය අවබෝධයක් ඇති එකම රාජ්‍ය තාන්ත්‍රිකයා ඔහු බැවිනි.
මහාභාරතයේ අවසන් කුරුක්ෂේත්‍ර සටන ජය ගනු ලබන්නේ පාණ්ඩවයන් විසිනි. එය අධර්මය පරදවා ධර්මය විසින් ලබා ගන්නා ජයග්‍රහණයයි. රනිල් මෙම දෛවෝපගත කුරුක්‍ෂේත්‍රයට පැමිණියේද, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් පැතූ අප සැම මෙහි රැගෙන ආවේද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු නැගී සිටිය යුතුම අවස්ථාවන් වලදී පොදු ජනතාව කෙරෙහි නිර්දය ලෙස පවතිමින් සිය දේශපාලන සගයන්, රාජකීය විද්‍යාලයේ මිතුරන් සහ ඔහු විසින් ඔහුගේ කුල්ටූර් පන්තිය ලෙස හඳුනා ගන්නේ යයි පෙනෙන කිසිදු ගරු කටයුතු බවක් නොමැති හිස් මිනිසුන් රැකීමට යාමෙනි. 2002 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අත්තනොමතික ලෙස එහෙත්, ඇයට ව්‍යවස්ථාවෙන් ලැබුණු බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල් වික්‍රමසිංහ ට ජනතාව ප්‍රජාත්නත්‍රවාදී ලෙස වසර 5 කට ලබා දුන් ජනවරම නිර්ලජ්ජී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා කොල්ල කන ලදී. දහස් ගණනක් ජනතාව මහමගට බැස ජනාධිපති නිවස දෙසට පා ගමන් කරනු ලැබුවේ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මියැදීමට හෝ සූදානම්වය. රනිල් විසින් සිදු කරනු ලැබුවේ කුමක්ද? පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මහමග කෙලෙසු සිය ළමා කල මිතුරිය ගේ ව්‍යවස්ථා අයිතිය ගැන පමණක් සිතා ගෙදර යාමය. ඉන් වසර 13 කට පසුව විප්‍රවාසව සිටි පාණ්ඩවයකු මෙන් නැවත පැමිණි (පාණ්ඩවයන් විප්‍රවාසව සිටියේද අවුරුදු 13කි!) රනිල් 2015 දී සිදු කළේ කුමක්ද? ඉතිහාසගත වූ බැඳුම්කර වංචාව ‘රාජකීයයන්’ කිහිප දෙනෙකු සිදු කර ඉන් එක අයකු අද්භූත ලෙස රටින්ද පලා යන තුරු බලා සිටීමය.
මේ සියල්ල ඉතිහාසයට අයත්ය.
ඉන් සිදු වූ යහපත කුමක්ද? රනිල් තව දුරටත් මිත්‍යා කතාවක එන දේව භාෂිත කරන, දිව්‍යමය පුද්ගලයකු නොවේ. ඔහු අප මෙන්ම වැටෙන, නැගිටින, වරදින, වැරදි කරන, පාපයන්, පාශයන් සහිත මිනිසෙකි. නමුත් වර්තමාන දේශපාලනය තුළ ගෝලීයකරණය වන ලොවක, සිලි එලවා කටයුතු කළ හැකි, බහුවාර්ගික ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන තුරුම්පුව රනිල් ය. මෙය ප්‍රත්‍යක්ෂව අභ්‍යන්තරීකරණය කර ගැනීම තුළ ඇත්තේ ජයග්‍රහණයකි. මක් නිසාද යත්, කුරුක්ෂේත්‍ර සටනින් රනිල් යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් ඔහු අන් සියලු ගර්භිත දේශපාලකයන් මෙන්ම අපගේ අනුකම්පා විරහිත විනිශ්චයට සහ සිවිල් පීඩනයට ලක් විය යුතු බැවිනි.
“ඔබට මෙහි නැතිවන්නට, ඔබ එන විට ගෙන ආ කිසිවක් වෙත්ද?”
රනිල් දෛවයේ නායකයකු මිස ආධ්‍යාෂයේ නායකයකු නොවේ. ඔහු විසින් එජාප නායකත්වය ‘ලබා ගත්තේ එල්ටීටීය විසින් සිදු කල ඉතා ඛේදනීය ඝාතන රැසක් මතිනි. ආර්.ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක වැනි එජාප පතාක යෝධයින් ගේ සොහොන් මතින් විද්‍යමාන වූ අවිනිශ්චිත නායකයා රනිල්ය. ඔහුගේ ‘රාජකීය භාවයෙන්’ හෝ රාජ්‍ය තාන්ත්‍රිකත්වයෙන් හෝ එම හීනමානය වැසිය නොහැකි බව ඔහු දෙස සියුම් දේශපාලන නිරීක්ෂණයක් කළහොත් තේරුම් ගත හැක. ඔහුගේ බටහිර ආකෘතියේ , පිම්බුණු ප්‍රතිරූපය දෙස ආලෝලනය නොවී මිනිසෙක් තවත් මිනිසෙක් දෙස සම බිමක සිට බලන ලෙස බැලුවහොත් එය ඉතා පැහැදිලිව පෙනෙයි.
රනිල් පක්ෂය තුල බලය ස්ථාපිත කර ගැනීමට මහත් සටනක් වසර ගණනාවක් ගෙන ගියේය. ඔහුගේ අවාසනාවට ඔහු ආසක්ත වනුවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන සමාජයේ ගර්භාවට ලක්‌වූ පුද්ගලයන් කෙරෙහිය. මලික් සමරවික්‍රම, සාගල රත්නායක වැන්නවුන් තරාතිරම් භේදයකින් තොරව සාමාන්‍ය ජනසමාජයේ අවඥාවට සහ නිග්‍රහයට පත් වූ, විශේෂයින්ම මුල්‍ය සහ පෞද්ගිලක ව්‍යවසාය ආදී ක්ෂේත්‍ර වල ප්‍රවීනයන්ගේ විසින් වංක තක්කඩියන් ලෙස සලකා වෛරයට භාජනය වූ අය වෙති.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් වන කාන්තාවන් මහින්ද රාජපක්ෂට දක්වන ආකර්ෂණය රනිල් කෙරෙහි දක්වන බවක් ගම්‍ය නොවෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම තනි පක්ෂයක නායකයා වශයෙන් කාන්තාවන් ට එජාප ජයග්‍රහණයක් වෙනුවෙන් කළ හැකි දායකත්වයෙන් ප්‍රයෝජනයක් ගැනීමට ඔහු ඛේදජනක ලෙස අසමත්ව ඇත. රෝසි ගෙන් ඔබ්බට දේශපාලනයේ කාන්තාවක් නොපෙනෙන වරණාත්මක (selective) දේශපාලන අන්ධතාවය රනිල්ට මෙන්ම රනිල් වාදීන්ටද නොඅඩුව පිහිටා ඇත. නමුත් දෛවයේ සරදමක් වන්නේ කාන්තාවන් දේශපාලන ප්‍රවාහයට එක කර ගැනීම සඳහා ඡන්ද ක්‍රමයේ සිදු කරන ලද කේන්ද්‍රීය වෙනස්කම් සිදු කිරීමේ පුරෝගාමියා වුයේ රෝසි, තලතා, හිරුනිකා, පවිත්‍රා නොව රනිල්ය. ඔහුගේ දේශපාලන ශ්‍රේෂ්ඨත්වයද එයයි.
රනිල්ගේ බලය පිලිබඳ සටනෙහි ඛේදනීයම කරුණ නම් ඔහුගේ පෘතුල දේශපාලනික දැනුම සහ ආර්ථික දර්ශනය පසෙක තබා දේශපාලන මඩ ගොහොරුවක වැටි වැටී ඔහුට සටන් කරන්නට සිදු වීමයි. එම මඩ ගොහොරුවේ සිටි මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, වේලුපිල්ලේ ප්‍රභාකරන් වැනි කිඹුලන් වෙනුවෙන් ඔහු ආයෝජනය කළ කාලය සහ බුද්ධිමය ශ්‍රමය ගැන කනගාටු විය යුතු නැත. නමුත් ඔහු සමග නිර්ලජ්ජී ලෙස පැටලුනු, ඔහුගේ පා දුහුවිල්ලක් තරම් වත් නොවටිනා සජිත් ප්‍රේමදාස, සිරස මාධ්‍ය ජාලය, බුද්ධික පතිරණ, ශිරාල් ලක්තිලක, පාලිත රංගේ බණ්ඩාර, මෛත්‍රී ගුණරත්න, පාලිත තෙවරප්පෙරුම වැනි කොහිල කටු විසින් ඔහුගේ ප්‍රයෝජනවත් දේශපාලන කාලය සහ අවකාශය ඉතා අසම්මත සහ පහත් ලෙස අපයෝජනය කරන ලදී. නමුත් මේ කිසිවකින් රනිල් කම්පා වෙන බවක් පෙනෙන්නට නැත. ඔහුගේ හදවත දරුවන් දන් දෙන්නෙකුගේ මෙන් දැඩිය. රනිල් බෝධි සත්වයෙකුයි මින් අදහස් නොකෙරේ. ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ සිටින විශිෂ්ටතම චිත්තවේග කළමනාකරු බව පමණක් ඉන් කියවේ.
“ඔබ කිසිවක් දුන්නෙහිද? එය ඔබ දුන්නේද මෙහිමය”
සිය පෞද්ගලික බල අරගලය පවා පාවා දෙමින් ලිබරල් ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් තමාවම පරාජය කර ගැනීමට තරම් ලත’ර භාවයක් ඇති එකම නායකයා රනිල්ය. ඔහු සිය අගමැති ධුරයට පත් වී ඇත්තේ ජනසම්මතවාදයෙන් මිස මාධ්‍ය මාෆියාවක් හෝ අන් කිසිදු “ජෙහාන් ප්‍රනාන්දු–මල්දෙණිය” පන්නයේ ගේම් එකක් තුළින් නොවේ. ජාති භ්‍රෂ්ට, දේශ ද්‍රෝහී ලේබලයට බියෙන් මනුෂ්‍ය ඝාතන සිදු නොකළ, සිය දේශපාලන ජීවිතයේ අඳුරුම දුක්ඛිතම කාලයකදීවත් තමාගේ පැවැත්ම සඳහා රට ජාතිවාදය කරා රැගෙන නොගිය එකම ප්‍රධාන පෙලේ නායකයා රනිල්ය. ඔහුව එජාපය තුළ දේශපාලන ද්වන්ධයකින් පරාජය කර ගැනීමට සජිත් ප්‍රේමදාසට ඇති නොහැකියාව සජිත් ගේ දුර්වලත්වය වෙයි. ඒ සඳහා මාධ්‍ය මාෆියාවකට මුවා වී සජිත් විසින් දශකයකටත් වැඩි කාලයක් ගෙනයනු ළදරු ව්‍යාපෘතියේ අසාර්ථක භාවය සජිත් ගේ දේශපාලන අපරිණත භාවයෙහි සංකේතයකි. “උස නම් සෙකුරිටි– කොට නම් කම්කරු” නාටකය ඔහුගේ දේශපාලන මානසිකත්වයේ කුදු බව සහ ග්‍රාම්‍ය බව පෙන්වයි.
රනිල් ගේ නිර්භය ආර්ථික දර්ශනය ජනයාට ගෝචර නොවන්නේ එහි ඇති ස්වභාවික දුර්වලතාවයක් නිසා නොව අනාගතයට ගැලපෙන ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට උත්සාහ කරන සියලු අවස්ථා වලදී අවස්ථාවාදී දේශපාලනය සහ රනිල් ගේ බලය රඳවා ගැනීමේ නොහැකියාව නිසා එම අවකාශයන් ගිලිහී යාම නිසාය. එසේ වුවද මෙම ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමේ දීර්ඝ කාලීන දාර්ශනික ශක්‍ය තාවය ඇත්තේද රනිල්ටමය.
“හෙට එය තවත් අයකු සතු විය හැක”
අප්‍රේල් 4 විශ්වාස භංග යෝජනාව පිලිබඳ කතිකාවත ඇති වූ දින පටන් යහපාලන රජයේ පිපිරීම් වර්ධනය වෙමින් පවතී. මෙම විශ්වාස භංගය සම්මත වුවහොත් සංශෝධිත ව්‍යවස්ථාවට අනුව රජය පීලිබද විශ්වාසය නොමැති වීම පාර්ලිමේන්තුවෙහි සම්මත වනු ඇත. මෙම ප්‍රශ්නයේදී රනිල් සමග නොසැලී සිටින්නන් දෙකොටසකි. පළමුවැන්න නම් එජාප මන්ත්‍රීන් බහුතරයයි. රනිල් ගේ නායකත්වය පිලිබඳ ඔවුන් තුළ මත ගැටුම් තිබුනද සංකල්පීය වශයෙන් ඔවුහු එකඟතාවයක පසු වෙති. අනෙක් වර්ගය නම් දෙමල ජාතික සන්ධානයයි. ඔවුන්ගේ දේශපාලන පරිනතභාවය සහ ඔවුන්ගේ දේශපාලන අධ්‍යාශයන්ගේ සුජාත භාවය වෙනම ලිපියකට ප්‍රස්තුතයකි. ඉතා නිර්ලජ්ජී ලෙස බොර දියෙහි මාළු බාමින් හෙට්ටු කරන්නන් අතර රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් වෙති. මොවුන් රනිල්ට සහය දුනහොත් ඒ ඔවුන් තමා නියෝජනය කරන, කිසිදා සැපක් නොවිඳින අහිංසක ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව නිසා නොව, එම ජනතාව රනිල් ව විශ්වාස කරන බව ඔවුන්ගේ කපටි, කෲර දේශපාලන මොළ වලට වැටහෙන බැවිනි. අනාගතයේ එක් වාසනාවන්ත දිනක එම සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව සිය බියකරු රැවටීමෙන් අවදි වුවහොත් ඔවුන්ගේ ගැලවුම් කරුවා ලෙස රනිල්ව වුව ද අවශ්‍ය නොවනු ඇත. ඔවුන් විසින් ම ඔවුන් ව ගලවා ගනු ඇත. මෙම දේශපාලන යතාර්ථය තේරුම් ගැනීම පසෙක තබා ජනාධිපතිකම නමැති අත්ත උඩ සිට ගෙන එය සියතින් කපමින් විශ්වාස භංගයට ලබා දෙන සහය වෙනුවෙන් තම තනතුරින් හෝ සිය ජීවිතයෙන් ගෝටාභය රාජපක්ෂට වෙත වන්දි ගෙවන්නට සිදු වන බව මෛත්‍රිපාල සිරිසේනට නොපෙනීම ඔහුගේ මෙන්ම අපගේද අවාසනාවයි. මක් නිසාදයත් මේ තනන මාර්ගය අවසන් වන්නේ ‘ගෝටා 2020′ න් ම පමණි.
2020 ජනාධිපතිවරණයේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙන්ම ගෝටාභය රාජපක්ෂගේ ද පොදු සතුරා වන්නේ රනිල්ය. මොවුන් මේ බියව සිටින්නේ සිරසෙන් හංවඩු ගසන, අප ඉදිරියේ අකම්පිත දෑසින්, බැනුම් අසමින් සිටින රනිල්ට නොව, 2020 දී ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ව්‍යක්තව නැගී සිටින, ආර්ථික ප්‍රතිසන්ශෝධන කරන, ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් වූ අනාගත රනිල්ටය. ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනමතයට එරෙහිව බලය නතු කරගන්නට තැත් කරන ඕනෑම අයකුට එරෙහි වීම දේශපාලකයන්ගේ මෙන්ම ජනතාවගේ යුතුකමකි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහට කැමති වීම හෝ අනාගතයේ ඔහුට ඡන්දයක් දීම හෝ අවශ්‍ය නැත. 2020 කාට හිමි වුවද, අහිමි වුවද ප්‍රජාත්නත්‍රවාදය අප විසින් අහිමි කර ගත යුතු නැත. කුරුක්‍ෂේත්‍රයේදී රනිල් ජයග්‍රහණය කළ යුත්තේ එබැවිනි.
- ගෘෂා ඇන්ඩ්රූස්
[https://ift.tt/1D2dVYf]
0 comments :
Post a Comment