දැන් මාධ්‍ය නිදහස, අනාගතේ මතක් වේවි : දින 100 මෛත්‍රීගේ නෙමෙයි.



නාගතයේ දවසක වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස පිළිබඳව යළිත් සිහිපත් කිරීමට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය  මෙහෙයුම් ඒකකය සමාජගත කිරීම සඳහා අද (04) සිරිකොත මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගිවෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන්  කළේය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ඉහළ මට්ටමේ වැඩසටහන් රැසක් රජය ක්‍රියාත්මක කළ ද ඒ සම්බන්ධයෙන් ජනතාව නිසිලෙස දැනුවත් කිරීමට මාධ්‍ය අපොහොසත්ව ඇති බවයි.

අකිලගේ නිදහස වෙබ් වලට අදාල නෑ

අමාත්‍යවරයා එසේ පැවසුවා ද මේ වන මෙරට සිට ක්‍රියාත්මක වන අප වෙබ් අඩවියේ (www.infosrilankanews.com) වෙබ් ලිපිනය ඇතැම් දුරකථන සේවා තුල වරණය කර ඇති අතර තවත් පුවත් වෙබ්අඩවි කිහිපයක් ද වරණය කර තිබේ.

දින 100 කාගේද?

එමෙන්ම යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නොවන බවත්, එය පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට එක් වූ සිවිල් සංවිධාන හා එකී කණ්ඩායමේ වැඩක් බවත්, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම සේ අවස්ථාවට එක් වූ ඒ මහතා කියා සිටියේ,

“ මට අලුත් පත්වීමක් ලැබුණා. තවත් මාස 18 ක කාලයක් අපිට ඉතුරුවෙලා තියෙනවා. එම කාලය තුළ ඇත්ත කියන ක්‍රමයක් ගොඩනැගිය යුතුයි. අපි ඇත්ත එක්ක ඉදිරියට යා යුතුයි. අපි පසුගිය කාලයේ “සුව සැරිය ආරම්භ කළා.පාසල් ළමුන්ට රක්ෂණාවරණයක් ලබා දුන්නා. නමුත් අපි කරපු හොඳ වැඩ ගැන මාධ්‍ය කතා කරන්නේ නෑ. ඒවා පේන්නෙත් නෑ. දැන් රටේ ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ අර්ජුන් ඇලෝෂියස්.රට තුළ කොච්චර හොඳ වැඩ ආරම්භ කරත් ඒවා පෙන්නේ නෑ. අපි ජනවාරි 8 දින රාජපක්ෂ පාලනය බිඳලා දැම්මා.ඒක ලොකු ජයග්‍රහණයක්.අපි දින 100 වැඩපිළිවෙළ ගෙනාවා. නමුත් අපිට ඒ වැඩ සියල්ල ඉෂ්ඨ කරන්න බැරි වුණා.ඒක ඇත්ත.හැබැයි අපි හුගක් දේවල් කළා.අපිට එදා නොතිබුණු නිදහස අද ලැබිලා තියෙනවා.අපේ ආණ්ඩුවෙත් රාජපක්ෂලාට මුක්කු ගහපු පිරිසක් හිටියා.තවත් මාස 18ක් අපිට තියෙනවා. අපි ඒ මාස 18 තුළ සත්‍යයත් එක්ක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

විපත් මඟ

මේ අතර මේ අවස්ථාවට එක් වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙලෙස අදහස් පළ කර සිටියේය.

“අපේ පක්ෂය යළිත් සත්‍ය මෙහෙයුමක් ආරම්භ කළා.අපි මේ රජය බාර ගන්න විට ආර්ථික වශයෙන් ගැටළු තිබ්බා. යුද පරීක්ෂණ ආරම්භ වෙලා තිබ්බා.පැවති රාජපක්ෂ පාලන සමය තුළ රට පාවලා දීලා තම බලය අල්ලා ගන්න ඔවුන් කටයුතු කළා. එහෙම කරලා පාලන බලය රඳවා ගන්න ඔවුන් වැඩ කරන්න හැදුවා.හොඳම උදාරහණය තමයි ගෝඨාභයගේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පළමුවරට හෙළි කරපු ලසන්ත වික්‍රමතුංගව ආරක්ෂක කලාපයක් තුළම මරා දැමීම.සත්‍ය හෙළි කරපු අයට පහුගිය ආණ්ඩුව සැලකුවේ එහෙමයි. 1950 ගණන්වලවත් රටේ මෙහෙම තත්ත්වයක් තිබ්බේ නෑ.අපි අද 100%ක් ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කරලා තියෙනවා. ඒ වගේම සංහිඳියාවත් ඇති කරලා තියෙනවා. ජනාධිපති මේ වෙද්දී 17ත් වතාවක් යාපනේ ගියා. අගමැති 12 වතාවක් ගියා.මම ගෝඨාභයට කියනවා ආත්ම ගරුත්වයක් තියේනම් ආයෙත් අමෙරිකාවට යන්න කියලා. සිංහල පත්තර පහුගිය කාලේ රාජපක්ෂ රෙජීමයේ හෝ ගෝඨාභය සම්බන්ධ කිසිම දෙයක් වාර්තා කළේ නෑ.අපිට තවත් හෙළි කරන්න දේවල් තියෙනවා.තවත් අවුරුදු එක හමාරක් තියෙන නිසා අපි ඒ ගැන පස්සේ හෙළි කරන්නම්.

මේ අතර මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරුදුන් මංගල සමරවීර මහතා කියා සිටියේ “ වියත් මඟ“ යනු විපත් මඟක් බවයි.එමෙන්ම ඒ ඔස්සේ මිල්ටරි පාලනයක් ගෙන ඒමට සූදානම් බවත්, එය කවුරුන් විසින් හෝ ලියපු දෙයක් කියවන්නක් බවද ඒ මහතා කියා සිටියේය. එහි ඇතැම් සැලසුම් 2030 සිදු කිරීමට සැලසුම් කරද්දී අපි එය 2025 වන විට කර අවසන් කරන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම අකිල විරාජ් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් එජාපයේ හොරු ආරක්ෂා කළා වගේ ඇතැමුන් කතා කළ නමුත් හොරොකු බව ඔප්පු වන තෙක් ඔහු හොරෙකු නොවන බවයි.එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා අභියෝගයක් නොවන බවද ඒ මහතා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment