එජාප නායකත්ව අර්බුදය යළිත් කරළියට?



2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන එජාප අපේක්ෂකයා කවුරුන්ද යන ගැටලුව මූලික කර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය නැවතත් අර්බුදකාරී තත්වයක් වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

2020 ජනාධිපතිවරණය ලෙස හැඳින්වුවද සැබෑ ලෙසම මීලඟ ජනාධිපතිවරණය 2019 වසරේ අවසාන කාලයේදී පැවැත්විය යුතුය. ඒ අනුව ඒ සඳහා තවත් ඇත්තේ වසර එක හමාරකටත් වඩා අඩු කාලයකි.

මේ වනවිට ප්‍රධාන පක්ෂ කිසිවක් තමන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති අතර කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයට අදාල විවිධ සාකච්ඡා, ප්‍රචාරණ කටයුතු, අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම් නොනිළ මට්ටමින් සිදුවෙමින් පවතී.

එක්සත් ජාතික පක්ෂය තවමත් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත්කොට නොමැත. අවම මට්ටමින් එජාප අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද යන්න හෝ නැවතත් පොදු අපේක්ෂකයෙකු වෙත යොමු වන්නේද යන්න සම්බන්ධයෙන් හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් හෝ නිශ්චිත කිසිවක් ප්‍රකාශ කර නොමැත. එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ තීරණයක් පවා ගෙන නොමැති බවයි. 

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නායකත්ව අර්බුදය දැන් කාලයක් තිස්සේ විටින් විට එළියට පැමිණෙන අතර ඒ සෑම අවස්ථාවකදීම එම උණුසුම සමනය කර ගැනීමට පක්ෂ නායකත්වය සමත් විය. පසුගිය කාලයේදී උණුසුම් වූ එම අර්බුදය පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සහ නව නිළධාරී මණ්ඩලය පත්කිරීම හරහා යටගිය අතර දැන් නැවතත් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එම අර්බුදය උඩට පැමිණ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඒ සඳහා එජාප බහුතරයකගේ කැමැත්ත ලබා ගැනීම අසීරුය. අවස්ථා දෙකකදී ඔහු පරාජයට පත් වූ අතර ජනාධිපතිවරණයකදී ඔහුට ජයගත හැකි වේයයැයි සිතන එජාප පාක්ෂිකයන් ප්‍රමාණය ඉතා අල්පය. කෙසේ වෙතත් රනිල් පක්ෂය තුළ මෙතෙක් ගෙනගිය ක්‍රියාකලාපය අනුව ජනාධිපති අපේක්ෂකත්වය සඳහා අනුමැතිය ලබාගැනීම ඔහු අසීරු නැත. එහෙත් ගැටලුව වන්නේ ඔහුට ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේද යන්නයි.

එජාප පහළ සාමාජිකයන් බහුතරයකගේ බලාපොරොත්තුව වන්නේ සජිත ප්‍රේමදාස මහතාය. කෙසේ වෙතත් ඔහුට එජාප මන්ත්‍රීවරුන් සහ ඉහළ සාමාජිකත්වයේ බහුතරය දිනා ගැනීමට හැකි වන්නේද යන්න ගැටලුවකි. ඔහු තවමත් පක්ෂයේ නායකත්වය දැරීමට හෝ රටේ නායකත්වය දැරීමට හෝ තරම් පරිණත මට්ටමකට පැමිණ තිබෙන බවක් පාර්ලිමේන්තුවේදි හෝ ඉන් පිටතදී හෝ පෙන්වා නොමැති අතර ඔහු තවමත් සිය පියාගේ පක්ෂ නායකත්වය සහ රටේ නායකත්වය අලෙවි කරමින් යනවාට වඩා කිසිවක් සිදුකර නොමැත.

මීට අමතරව කතානායක කරු ජයසූරියගේ සහ සරත් ෆොන්සේකා මහතාගේ නම් ද ජනාධිපති අපේක්ෂකත්වයට අදාල ප්‍රකාශයට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට අවස්ථාව හිමිවීමට ඇත්තේ අවම ඉඩකි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් පිටත, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකු, රනිල් වික්‍රමසිංහ මහතට එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා දැඩි මෙහෙයුමක් දියත් කරමින් සිටින බව ද වාර්තා වේ. ඒ සඳහා එජාපයෙන් පිටත ප්‍රබලයන් කිහිප දෙනෙකු මෙන්ම එජාපයේ රනිල් හිතවාදී ප්‍රබලයන් පිරිසකගේ එකඟතාවයද ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment