ජනපති මිල සූත්‍රය ගැන තීරණයක් ගන්නා බව කියයි.



තෙල් මිල සූත්‍රය තවදුරටත් පවත්වාගෙන යනවාද එසේ නොමැතිනම් එය සංශෝධනය කරනවාද යන්න පිළිබඳව ඉදිරි අයවැය යෝජනාවලියේදි තීරණයක් ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (14 දා) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“තෙල් මිල සූත්‍රයට විවේචන තියෙනවා. ලෝකයේ සමහර රටවල්වල තෙල් මිල සූත්‍රයට අනුව මිල තීරණය කරනවා කියලයි රජය මේ තීරණය ගත්තේ. නමුත් මේ සූත්‍රය හැටියට තෙල් මිල පහළ යන්නේ නෑ උඩමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන අවාසිය පටන් ගත්ත දවසේ ඉදලා.ඉතින් මහ ජනතාවගෙන් බැනුම් අහනවා.

මම බලාපොරොත්තු වෙනවා මිල සූත්‍රය තවදුරටත් පවත්වනවද සංශෝධනයක් කරනවද? දැනට වඩා මහජනයාට හිතකර තත්ත්වයක් අතිකර ගන්න. ඉදිරි අයවැය යෝජනාත් එක්ක මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනාවලටද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිචාර දැක්විය. යුද්ධයකදි තාවකාලික හමුදා කඳවුරු ඇති කිරීම සාමාන්‍ය දෙයක් බවත් යුද්ධයෙන් පසු ඒවා ප්‍රතිසංවිධාන කිරීම පමණක් සිදුවන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

පසුගිය කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ට නඩු පැවරීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද තමන් කරුණු සැලකළ බව සඳහන් කළේය.

ජනාධිපති ගෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට විසඳුම් යෝජනා

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට රටට එල්ල වී ඇති චොදනා සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ජනපතිවරයා කීය.

එළඹන 25 වැනිදා මෙම යෝජනාවලි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සිරිසේන මහතා පැවසීය.

ඊට සමගාමීව මානව හිමිකම් පිළීබඳ නව මහ කොමසාරිස්වරිය ද පළමු වරට හමුවන බවත් ඇය ට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලි භාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වු බවද ජනාධිපතිවරයා පැවසීය.

රටේ ආරක්ෂාව ශක්තිමත්

රටේ ආරක්ෂක තත්ත්වය කිසිලෙසකින් දුර්වල වී නොමැති බවත් හමුදාව නිරන්තරයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා එහිදී කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment