කාදිනල්ගේ මානව හිමිකම් විරෝධයට බැට : ඇමැති මංගලගෙනුත් ප්‍රහාරයක්.


මානව හිමිකම් පහත් කොට සලකමින් හෙලා දකින ශ්‍රී ලංකාවේ කතෝලික කාදිනල් වරයා අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියාගේ සහ රජයේ ප්‍රබල අමාතයවරයෙකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

කාදිනල් මැල්කම් රංජිත් මානව හිමිකම් හෙලා දකිමින් කරන ලද ප්‍රකාශය “වැඩ වරද්දා ගැනීමක්” ලෙසයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දෙන්නේ.

කතෝලික ආගම පිලි නොගත් හෝ එය ප්‍රශ්න කළ පුද්ගලයන්ට දෙතිස් වද දී මරා දැමීමට සභාව විසින් 12 වැනි සියවසේදී යොදා ගන්නා ලද Inquisition යනුවෙන් හැඳින්වුනු භීෂණකාරී සෝදිසියත් වෙනත් ආගම් වලට එරෙහිව සිය ආධිපත්‍යය පැතිරවීම සඳහා දාහත්ලක්ෂයකට අධික ජනකායක් මරුමුවට පත් කරමින් දියත් කෙරුනු කුරුස යුද්ධයත් ජගත් මානව හිමිකම් රැකගැනීමේ අවශ්‍යතාව මතු කළ බව අමාත්‍යවරයා පවසයි.

“මානව හිමිකම් පිළිබඳ අවශ්‍යතාව මතුවුනේ කොල්ලකාරී ආගමික අන්තවාදීන්ගේ භීෂක සෝදිසිය සහ කුරුස යුද්ධය විසින් තොග ගණනින් නොඅදහන්නන් ඝාතනය කිරීම හේතුවෙනි. අනේ අපොයි, ජනප්‍රියවාදී වීමට වීරිය කරන හැම අවස්ථාවකම කාදිනල් වැඩ වරද්දා ගන්නා පාටයි,” යනුවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශ කර ඇත.



ලැජ්ජා සහගතයි

මේ අතර කාදිනල්වරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සිය මුහුණු පොතෙහි සටහනක් තබා ඇති අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති සාලිය පීරිස් පළවූ වාර්තා සත්‍ය වේ නම් එය ලැජ්ජා සහගත බව ප්‍රකාශ කොට තිබේ.

“මේ වාර්තාව නිවැරදි නම් මානව හිමිකම් වල ඇති වටිනාකම කාදිනල්තුමා විසින් පහත් කොට සැලකීම ලැජ්ජා සහගතය. මානව හිමිකම් සංකල්ප සම්බන්ධයෙන් ඔහු මහත් අඥාන භාවයක් පල කරන සැටියක් දිස්වේ. ආගමක් කෙරේ විශ්වාසයක් නැති බොහෝ දෙනා ඉන්නා බවද, ආගම බලහත්කාරයෙන් පුද්ගලයන් මත පැටවිය නොහැකි බවද වටහා ගන්නට ද ඔහු අසමත් වෙයි.”

“මෙය ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රගතිශීලී චින්තනයට කොතරම් පටහැනිද? මෙය නිවැරදි නොවේ නම් ඔහු එය ප්‍රතික්ෂේප කළ යුතුය.” යනුවෙන් නීතිඥ සාලිය පිරිස් ප්‍රකාශ කර තිබේ.

කොලඹ අගරදගුරු පදවියද උසුලන කාදිනල් වරයා ඒකල ප්‍රදේශයේ දේවස්ථානයක මංගල දේව මෙහෙය පවත්වමින් මානව හිමිකම් හෙලා දුටුවේ “මායාවක්” ලෙස හඳුන්වමිනි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment