ජාතික ආණ්ඩුවම යළි පිහිටුවීමේ ශ්‍රීලනිප යෝජනාව : එජාපය ප්‍රතික්ෂේප කරයි.


නව එක්සත් ජාතික පෙරමුණු රජයට එක්වීමේ සූදානමින් සිටින සියලුම මන්ත්‍රීවරුන්ට ඇමතිධුර ලබාගැනීමට ඇති ව්‍යවස්ථාමය බාධාව නිසා ඔක්තෝබර් 26 වන දිනට පෙර පැවති ආකාරයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. 

මේ සඳහා ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය 30කටත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 40කටත් සීමා කර තිබේ. එහෙත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී අමාත්‍ය මණ්ඩලය 48ක් සහ රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් 45ක් දක්වා වැඩි කරගැනීමේ හැකියාව පවතී.

ඒ අනුව ශ්‍රීලනිපයෙන් කොටසක් එජාපෙ ආණ්ඩුවට එක්වීම ස්ථිර නිසා ඉතිරි අයටත් ඇමතිකම් ලබාගත හැකි පරිදි ජාතික ආණ්ඩුවක්ම පිහිටුවීමට ශ්‍රීලනිපයේ පිරිසක් විසින් යෝජනාව ඉදිරිපත් කර ඇත.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් එක්වන්නේ නම් එම පක්ෂයම නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකත්වය දැරීමට හැකියාවක් නොමැති අතර පෙර පැවති ආකාරයෙන් දෙමළ ජාතික සන්ධානයට ම විපක්ෂ නායකත්වය හිමි වනු ඇත.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය මෙම යෝජනාවට කිසිදු එකඟතාවයක් පළකර නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment