2019 දී උපාධිධාරීන්ට සාධාරණයක්!

මෙරට රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය අංශයේ රැකියාවලින් විශිෂ්ට සාධාරණයක් මංගල සමරවීර මුදල් අමාත්‍යතුමන් විසින් එළඹෙන අයවැයේදී ඉටු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආශ්චර්යමත් සංවර්ධනයක් ගැන බොහෝ දෙනා එදා කතා කළද පසුගිය පාලකයින් උපාධිධාරී දූ දරුවන්ට රැකියා ලබා නොදීම නිසා උපාධිධාරී තරුණ තරුණියන් දහස් ගණනක් අනාථ වී සිටින බවත්, එම රැකියා විරහිත උපාධිධාරීන්ට යහපාලන රජයේ ජනාධිපතිතුමන්, අගමැතිතුමන් සහ මුදල් ඇමතිතුමන් ශක්තිය ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ජූල්ගමුව ප්‍රදේශයේ ඉදිවූ “සරණිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (07) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 149 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

මෙම උදා ගම්මානය නිවාස 20 කින් සමන්විත වන අතර මෙය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 161 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙය සමන්විත වේ.

“සරණිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 20 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 360 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 20 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150 කට රුපියල් ලක්ෂ 150 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 148 කට රුපියල් ලක්ෂ 296 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 100 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, නිවාස සමිතිය සඳහා පුටු ලබාදීම සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ හා පොල් පැළ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු වෛද්‍ය සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විය.

ප්‍රාදේශීය කලාකරුවන් 3 දෙනෙකුට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් රුපියල් 30,000 ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දීමද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාද සහභාගි විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment