වාර්ෂිකව පවත්වන සත්ව බිලි පූජාව මෙවරද නොපවත්වන බව හලාවත, මුන්නේෂ්වරම පිහිටි භද්‍රකාලි දේවාලයේ පුජකවරයෙකු පැවසීය.
හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්ලය මේ දිනවල පැවැත්වේ. එම දේවාලයේ දිය කැපීම නිකිණි පොහොය දිනයේ සිදු කිරීම සාමාන්‍ය සිරිතයි. ඒ අනුව මෙවර දිය කැපීම 16 වැනිදා දහවල් හලාවත දැදුරුඔයේදී සිදු කෙරේ.
ඊශ්වර දේවාලයේ මංගල්ලය සමයත් සමග ඒ ආසන්නයේ පිහිටි භද්‍රකාලි දේවාලයේ මංගල්ලයද ආරම්භ වේ. එම භද්‍රකාලි දේවාලයේ මංගල්ලය නිකිණි පොහොය දිනට පසු දින පැවැත්වීම සාමාන්යය සිරිතයි. එදිනට සත්ව බිලි පූජාවක්ද වසර ගනනාවක සිට පවත්වා ගෙන විත් ඇත. ඒ අනුව භද්‍රකාලි දේවාලයේ වාර්ෂික මංගල්ලය ලබන 17 වැනිදාට යෙදී ඇත.
තම දේවාලයේ මංගල්ලය නියමිත පරිදි පැවැත්වුවද චාරිත්‍රයක් ලෙස පවත්වා ගෙන ආ සත්ව බිලි පූජාව මෙවරද නොපවත්වන බව අප කළ විමසීමකදී එහි පුජකවරයෙකු පැවසීය. සත්ව බිලි පූජාවට එරෙහිව සිවිල් සංවිධානයක් විසින් ගොණු කර ඇති නඩුවක් අධිකරණය හමුවේ විභාග වන බැවින් තම නීතිඥවරයාගේ අවසරයකින් තොරව වැඩි දෙයක් මාධ්‍ය හමුවේ පැවසිය නොහැකි බවද එම පුජකවරයා කියා සිටියේය.
භද්‍රකාලි දේවාලයේ පවත්වා ගෙන ආ සත්ව බිලි පූජාවට එරෙහිව හලාවත දිසා අධිකරණයේදීද මීට පෙර නඩුවක් විභාග විය. සිවිල් සංවිධානයක් විසින් පනවා තිබූ එම නඩුවේ තීන්දුවට අනුව සත්ව බිලි පූජාව පවත්වන්නේ නම් ඒ සදහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් නිසි අවසරයක් ලබා ගත යුතුය.
නමුත් එවැනි අවසරයක් මෙතක් ලබා ගෙන නොමැති බව අප කළ විමසීමකදී හලාවත ප්‍රාදේශීය සභාවේ නිලධාරීනියක කියා සිටියාය.
සත්ව බිලි පූජාව පැවැත්වීම සදහා භද්‍රකාලි දේවාලයෙන් අවසර ඉල්ලා අයදුම් පතක් යොමු කර ඇති බවත් එම අයදුම්පත සම්බන්ධයෙන් සලකා බැලූ හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් ඉදිරිපත් කර ඇති නිර්නායකයන් සම්බන්ධයෙන් දේවාලයෙන් මේ වන තුරු කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
සත්ව බිලි පූජාව පවත්වන්නේ නැති වුවත්, කිසියම් බැතිමතෙකු බිලි පූජාව සදහා සතුන් ගෙනවිත් බාර දෙන්නේ නම් එම සතුන් බාර ගැනීම පමණක් සිදු කරන බවද භද්‍රකාලි දේවාලයේ පුජක තැන කියා සිටියේය.
පුත්තලම - ජුඩ් සමන්ත
0 comments :
Post a Comment