ලෝක ළමා දින අදයි

ලෝක ළමා දින අදයි
ලෝක ළමා දිනය අදට (01) යෙදී ඇති අතර "සොඳුරු ළමා ලොව සුරකින්න – වැඩිහිටියනි දෑත දෙන්න" යන්න මෙවර එහි තේමාවයි.
 
තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළේ ඒ නිමිත්තෙන් අද දිනය පුරාවට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවයි.

ජාතික සත්ව උද්‍යානයට මෙන්ම පින්නවල අලි අනාථාගාරයට පැමිණෙන ළමුන්ට අද දිනයේ නොමිලයේ ඒවා නැරඹීමට අවස්ථාව සලසා ඇති බවද ඇය පවසයි.

ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත්තේ දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමටත්, අධ්‍යාපනයේ අයිතීන් තහවුරු කර දී සුරක්ෂිත පරිසරයක හැදී වැඩීමටත් අවකාශය සපයා දීමටත් විශ්වීය වශයෙන් අප සියලූ දෙනා බැඳී සිටින බවයි.

රටක් ලෙස මෙම අවශ්‍යතා සියල්ල සපුරාලීමට නොහැකි වන්නේ නම් කිසිසේත් සතුටට පත්විය නොහැකි බව ද ජනාධිපතිවරයා එහිදී කියාසිටී.

සෑම දරුවෙකුම මෙලොව එළිය දකින්නේ සොබා දහමේ අසිරිමත් නිමවුම් පිළිබඳව ඇවිලූණු කුතුහලයකින් යුතුවයි. විශ්මයෙන් අයාගත් නෙතින් ද, ප්‍රහර්ෂණයෙන් විවිර කරගත් මුවින් ද ඔවුන් ලෝකයේ සෞන්දර්යත්වය සහ විචිත්‍රත්වය විඳීමට උත්සහ දරයි. එම නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීම සියලූ දෙනාගේ වගකීමක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

දරුවන්ට එරෙහිව නැගෙන ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් අප තවමත් පීඩා විඳියි. පවුල, පාසල සහ ඥාති හිත මිත්‍ර සමාජය ඇතුළු සියලූ ස්ථාන දරුවන් සඳහා සුදුසු ස්ථාන බවට පත් කළ යුතුයි. එහි බරපතළ සමාජ මෙහෙයුමක් සියලූ දෙනා වෙත පැවරී ඇති බවද ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවිඩය මගින් අවධාරණය කර ඇත.

මේ අතර අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇති අතර ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ සුරක්ෂිත සමාජයක සමබර පෞරුෂ වර්ධනයක් සහිතව හැදී වැඩීමට දරුවන්ට ඉඩ ලබදිය යුතු බවයි.

එවිට වඩාත් සුන්දර වූ ලෝකයක් පහසුවෙන් නිර්මාණය කරගත හැකි බව අග්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment