විමල් කුමාර ද කොස්තාගේ අවමංගල්‍යයට මේ වනතුරු කලාකරුවන් කිසිවෙකු නෑ


විමල් කුමාර ද කොස්තාගේ
අවමංගල්‍යයට මේ වනතුරු කලාකරුවන් කිසිවෙකු නෑ

පසුගිය කෙටි කාලය ඇතුළත විජය නන්දසිරි,ආචාර්ය අමරදේව මෙන්ම විමල් කුමාර ද කොස්තාද අප අතරින් සමුගෙන ගොස් තිබේ. රසිකයින්ගේ සිත් සසල කළ මෙම වියෝවීම් ඒ ඒ අය සිටි ක්ෂෙත්‍ර වලට දැනී ඇත්තේ වෙනස් ලෙසක වීම අදහන්නට අපහසු තත්වයකි.
විමල් කුමාර ද කොස්තා කාටත් ‘මචං‘ කියාගෙන කතාකරන පොළවේ පයගසා සිටි කලාකරුවෙකි. ඔහුගේ ආර්ථික ගැටලු හමුවේ මාධ්‍ය ඉදිරියේ ඒ ගැන කතා කළ පසුව පසුගිය රජය සමයේ නිවසක්ද ලබාදී තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ මරණින් පසු ඔහු වෙනුවෙන් කලාකරුවන්ගේ යයි කියන කිසිදු සංගමයක් තබා එකදු කලාකරුවෙකු අවමංගල නිවසට
නොපැමිණීම අභාග්‍යයකි.
කොස්තා මහතාගේ බිරිය රේණුකා ඒ ගැන මෙසේ කියා ඇත.
'මහත්මයා මියගිහින් තිබුණේ 20 වැනිදා පස්වරුවේ. එතැන් සිට ඒ බව මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා. එහෙත් 21 වැනිදා දවල් වනතුරුත් කිසිම කලාකරුවෙක් ආවේ නෑ. ඒ වුණාට එයා අප සමඟ හැමදාම සතුටින් සිටියා.  මහත්මයාගේ

අභාවය ගැන අසා මේ මොහොත වන තුරු රසිකයන් දුරකතන ඇමැතුම් දෙනවා. විශාල පිරිසක් මේ ස්ථානයට ආවා. එහෙත් මහත්මයා චිත්‍රපට, නාට්‍ය, විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී සිටියත් කිසිම ශිල්පියෙක් ආවේ නැති එක ගැන මට දුකක් දැනෙනවා.‘
කොස්තා මහතාගේ පුත් වෙනුර කවීන් මෙසේ කියා ඇත.
‘රසිකයෝ හැරෙන්නට කිසිම කලා ශිල්පියෙක් මෙතෙන්ට ආවේ නෑ. අපේ තාත්තා කලා ශිල්පියෙක් වුණාට මුදල් හම්බ කෙළේ නෑ. මුදල් තියෙන අලුතින් නැඟී එන නළු නිළියන්ට පමණයි ප්‍රවීණ ශිල්පීන් වුවත් උදවු කරන්නේ. ඒ ගැන නම් දැනෙනවා ලොකු වේදනාවක්.‘
හැට හැත්තෑව දශකවල රිදී තිරය වර්ණවත් කළ රසික සිත්වල සිනාව, උපහාසය, දුක, කඳුළ සිත්තම් කළ විමල් කුමාර ද කොස්තා මහතාගේ අභාවයෙන් පසු ඇතිව තිබෙන තත්වය ශෝචනීයය.

විමල් කුමාර ද කොස්තා මහතාගේ දේහය කොළඹ 8 බේස්ලයින් පාරේ සිංහපුර දෙවැනි අදියරේ අංක 70/39/3/1 නිවෙසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. දේහය හෙට (23දා) පෙරවරුවේ ජනතා උපහාරය වෙනුවෙන් කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේ තැන්පත් කිරීමෙන් පසු පස්වරු 4.00ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment