පොලිස්පතිට නියෝග කළේ ඇමතිතුමා - අගමැති හෙළිකරයි

පොලිස්පතිට නියෝග කළේ ඇමතිතුමා - අගමැති හෙළිකරයි

'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රසිද්ධ වේදිකාවක කළ දුරකථන සංවාදය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කළේය.

සමාජ කතිකාවක් බවට පත්ව ඇති එම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා, ලිපි ගොනුවක් භාරදීම සඳහා 'අදාළ නිලමේ' උසාවියට කැඳවනු ලැබ තිබූ බවත් එහිදී ඔහු අත්අඩංගුවට ගනු ඇත්දැයි යන්න දුරකථනය හරහා පොලිස්පතිවරයාගෙන් විමසා ඇති බවත් සඳහන් කළේය.

පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම ලබා ගත්තේ කවුරුන්දැයි යන්න විමසූ අවස්ථාවේ අගමැතිවරයා කියා සිටියේ "මම හිතන්නේ ඇමතිතුමා අහලා තිබුණේ" යනුවෙනි.

පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම දුන් පුද්ගලයා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හෝ අගමැතිවරයා විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මින්පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

දුෂිතයන්ට දඬුවම් ලබා දෙන බවට 2015 ජනවාරි 08 වනදා ජනවරමේ පැහැදිලිව සටහන් වූ බව ඊයේ (03) පාර්ලිමේන්තුව හමුවේ කියා සිටි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එවැනි වරදකරුවන්ට දඬුවම් ලබා දීමට බලය තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දුරකථන ඇමතුමකට අනුව ප්‍රතිචාර දැක්වීම බරපතළ තත්වයක් ලෙස හැඳින්වීය.

ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ "මමත් ඔය නිලමේව දන්නවා. අපි එක්ක ඉඳලා, ගිහිං රජතුමාට හේත්තු වුනා. ඒත් පරණ සම්බන්ධකම් තියන නිසා ඇවිල්ලා අහනවා මාව ගෙනියනවද නැද්ද කියාලා," යනුවෙනි.

තමන් අත්අඩංගුවට ගන්නේදැයි දැන ගැනීම සඳහා ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එසේ පොලිසියට දුරකථන ඇමතුම් ලබා ගන්නා බවත් අගමැතිවරයා සඳහන් කළේය.

'අදාළ නිලමේට' එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කී අගමැතිවරයා අවශ්‍ය නම් ඔහු අත්අඩංගුවට ගන්නා බවත් පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment