ගුරු සේවයේ වෙනසකට රජය සැරසෙයි 

ගුරු සේවයේ වෙනසකට රජය සැරසෙයි 

දේශීය පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය තුළ ගුරුවරුන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා සුවිශේෂ වූවක් බැවින් ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය සවිබල ගැන්වීමට නම් රටේ සියලු පාසල්වල පුහුණු මානව සම්පත් යෙදවීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ශ්‍රී ලංකා ගුරු සේවයේ සාධනීය වෙනස්කම් ඇති කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ හේතුවෙන් පාසල්වලට ගුරුවරුන් බඳවාගැනීම, පුහුණු කිරීම, ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය, ගුරුවරුන්ගේ උසස් වීම් සහ ශ්‍රේණිගත කිරීම්, ගුරු වැටුප්, සුබසාධනය ඇතුළු ගුරු සේවා අවශ්‍යතා සියල්ල කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. 

ඒ අනුව, පාසල්වල පවත්නා ගුරු හිඟය 2017 වසර වනවිට සම්පූර්ණයෙන් ම පියවීමේ අරමුණින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් වසරක් පාසා නිකුත් වන ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අමතරව ඉදිරියේ දී උපාධිධාරීන් 1093ක් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අදාළව ගැසට් නිවේදන මේ වනවිටත් නිකුත් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසී ය. 

එමෙන් ම, උපාධිධාරී අභ්‍යාසලාභී ක්‍රමය යටතේ සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය සඳහා බඳවාගන්නා ලද උපාධිධාරීන් 1177 දෙනෙකු ප්‍රාථමික ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ මූලික කටයුතු ද අවසන් කොට ඇති අතර උතුරු-නැගෙනහිර පළාත්වල කොන්ත්‍රාත් පදනම මත සහ ස්වේච්ඡාවෙන් සේවය කළ ගුරුවරුන් පුරප්පාඩු අනුව ගුරු සේවයට බඳවාගැනීම සඳහා මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ. 

මීට අමතරව දෙමළ මාධ්‍ය විද්‍යා, ගණිත, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය සහ පුහුණු ගුරුවරුන් හිඟ අනෙකුත් හර විෂයයන් වෙනුවෙන් විශ්‍රාමික ගුරුවරුන් 3,482ක් කොන්ත්‍රාත් පදනම යටතේ වතු පාසල් සහ ජාතික පාසල්වලට බඳවා ගැනීමට ද මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කර ඇති අතර ගුරු උපදේශක සේවය සඳහා වෙනම සේවාවක් ස්ථාපනය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සටහන ද කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර තිබේ. 

එමෙන්ම පළාත් සභා පාසල්වල පවත්නා උපාධිධාරී නොවන ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට එක් එක් පළාත්වලින් ඩිප්ලෝමාධාරීන් සහ උසස් පෙළ සමතුන්ගෙන් අයදුම්පත් කැඳවා බඳවාගැනීම් සහ පුහුණු කිරීම්වලින් අනතුරුව ඒ ඒ පළාත්වලට මුදා හැරීම සඳහා මූලික පියවර වශයෙන් මේ වනවිටත් අදාළ පුරප්පාඩු පිළිබඳ තොරතුරු පළාත්වලින් කැඳවා අවසන්කොට ඇති අතර 2017 වසර අවසන් වනවිට රටේ සියලු පාසල්වල ගුරු හිඟය සියයට සියයක් ම පියවීම සහ ගුරු සේවයේ මතුවන ගැටළු අවම කරමින් ශක්තිමත් සහ වඩාත් සක්‍රීය ගුරු ‍සේවයක් රටේ ස්ථාපිත කිරීම මෙම වැඩසටහන් වල අරමුණ අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment