ලාබ ලැබූ රාජ්‍ය ආයතන දෙකක් කඩා වැටිලා - ඇමැති චම්පිකගෙන් දෝස්මුරයක් 

ලාබ ලැබූ රාජ්‍ය ආයතන දෙකක් කඩා වැටිලා - ඇමැති චම්පිකගෙන් දෝස්මුරයක් 

බිම් මට්ටමට ඇද වැටී තිබූ ඛණිජ තෙල් සංස්ථාවත්, විදුලි බල මණ්ඩලයත් ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකි වූ බවත් එනමුත් එම ආයතන නැවතත් පරණ තත්වයට පත්වෙමින් තිබීම පිළිබඳව කණගාටු වන බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රජය ණයබරින් පෙලෙන බැවින් වර්තමාන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන නොලැබෙන බවත් පෞද්ගලික අංශයේ සහයෝගය ඇතිව එම ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

වසර 2000කට, 2500 කට එහා තිබූ රාජධානිවල නටබුන් අනුරාධපුර පොලොන්නරුවේ අදටත් සංරක්‍ෂණය කර තිබෙන බවත්, වසර 800 කට මෙහා තිබූ කෝට්ටේ ඓතිහාසික රාජධානිය පිළිබඳව කිසිවක් සොයාගැනීමටවත් නොමැතිවීම ලැජ්ජාවට කාරණයක් බවත් පැවසූ අමාත්‍යවරයා නටබුන් තිබෙන ප‍්‍රදේශය පමණක්වත් සංරක්‍ෂණය කිරීම සිදුකල යුතු බවද පැවසීය. 

ඉදිරියේදී ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයත් කඩුවෙල ප‍්‍රදේශයත් රටේ ප‍්‍රධානතම පරිපාලන මධ්‍යස්ථානය බවට පත්කිරීමට අවශ්‍ය සියළු පියවර ළගා කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති උත්සවයකට අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ පාඨලී චම්පික රණවක මහතාය. එම කාලය තුල විදුලිබල මණ්ඩලය ලාබ ලබන තත්ත්වයට ගෙන ආ බවට ප්‍රකාශ කර තිබිණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment