දේශපාලන පත්වීමකින් නීතිඥවරයෙකු මහාධිකරණ විනිසුරු ධුරයට

දේශපාලන පත්වීමකින් නීතිඥවරයෙකු මහාධිකරණ විනිසුරු ධුරයට

අධිකරණ ඇමැතිවරයාගේ විරුද්ධත්වය නොතකා දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව මත මඩකලපුව ප්‍රදේශයේ පෞද්ගලික නීතිඥ සේවයේ යෙදී සිටි නීතිඥවරයකු මහාධිකරණ විනිසුරුවකු ලෙස පත්කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස්‌ මහතා පවසයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා සදාචාරයට පටහැනිව මෙවැනි පත්කිරීමක්‌ සිදුවූයේ කෙසේද යන්න දිසා විනිසුරුවන් හා මහෙස්‌ත්‍රාත්වරුන් නිල වශයෙන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය අගවිනිසුරුවරයා හමුවී සාකච්ඡා කර තිබෙන බවත් කිසිදු අවස්‌ථාවක නීතිඥ සංගමය මෙවැනි ඉල්ලීමක්‌ කර නැති බවත් එම සංගමය ප්‍රකාශ කර ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

එබැවින් මෙම මහාධිකරණ විනිසුරුවරයා පත්කිරීමට මැදිහත් වී ඇති දේශපාලන පක්‍ෂය කුමක්‌ද යන්න රටට හෙළිදරව් කිරීම අධිකරණ ඇමැතිවරයාගේ යුතුකම බවත් පැවසූ ජී. එල්. පීරිස්‌ මහතා මෙය රහසක්‌ ලෙස තවදුරටත් තබාගැනීමට නොහැකි බවත් එය හෙළිදරව් කිරීම ඉතාම වැදගත් බවත් පැවසී ය.

මෙම දේශපාලන පත්වීම පිළිබඳව නීතිපතිවරයා කර තිබෙන නිර්දේශය කුමක්‌ද යන්න හා එම පත්වීම අනුමත කළාද යන්න පිළිබඳව ද රටට අනාවරණය කිරීමත් නීතිපතිවරයාගේ වගකීමක්‌ බවත් ඔහු සඳහන් කළේය.

මෙම පත්කිරීම සම්බන්ධව දැඩි පියවරක්‌ ලෙස පෙබරවාරි 21 වැනිදා පැවැත්වෙන නීතිඥ සංගමයේ නිලවරණයට කිසිදු අයුරින් සහභාගි නොවීමට අධිකරණ සේවා සංගමය තීරණය කර තිබෙන බව ද හෙතෙම පැවසීය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ (14) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා මේ බව පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment