ඇමති ලේකම් පුතාගෙයි කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයාගෙයි අම්මා පෝයදා මහමග අතැර දාලා


ඇමති ලේකම් පුතාගෙයි
කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයාගෙයි

අම්මා පෝයදා මහමග අතැර දාලා

පසළොස්වක පොහොය දිනය යෙදුණ පසුගිය ඉරිදා නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරකුයැයි කියන වැඩිමහල් පුත්‍රයෙකු
තමන්ගේ මව මහමග අතැර දමා යාමේ ඛේදජනක සිද්ධියක් වාර්තා වුණා. පන්නිපිටිය මොරකැටිය ප්‍රදේශයේදී 83 හැවිරිදි මව
ක් මහ මඟ දමා ගොස් සිටියදී ත්‍රීරෝද රථයකින් කොට්ටාව පොලිසියට පැමිණි ඇය තමාට සිදුවූ විපත්තිය හෙළි කර තිබුණි.
ඇයට අයත් රෙදි බෑග් කිහිපයක්ද  ඒ සමග පොලිසියට ගෙනෙවිත් තිබුණි.
සිද්ධිය වූ දිනයේ තමා නතර කර
තිබුණ නිවසින් කැටුව ලොකු පුතා දෙවැනි පුතාගේ ගෙදරට ගෙන ආ නමුත් තමා සමග විරසකව සිටින ලේලිය තාමාව භාරගත්තේ නැතිව ගේට්ටුව වසා දමා ගිය බවත් පසුව ලොකු පුතා තමාව වෙනත් තැනකට කැටුව යනු වෙනුවට ගේට්ටුව අසළ බස්සවා ගෙට්ටුව ඇරිය වෙලාවක ඇතුළට යන්න කියා දන්වා පිටව ගිය නමුත් තමාව එම නිවසට ඇතුළු කරගන්නට දෙවැනි පුතා හෝ ලේලිය පියවර ගත්තේ නැති බවත් මහමග අසරණවූ නිසා පොලිසි ආ බවත් දන්වා තිබුණි.

දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය තමන්ට සිදුවූ දේ හෙළි කර තිබුනේ මෙසේය.
‘මට පුතුන් තුන්දෙනකු සිටිනවා. බාල පුතා යුද හමුදා ක්‍රියාන්විතයකදී මියගියා. වැඩිමහල් පුත්‍රයා ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙක්. දෙවැනි පුතා ඇඟළුම් ව්‍යාපාරයක් හිමි කෝටිපතියෙක්.මම ඉස්සර ඉඳන් හිටියේ ඒ කාලෙ මගේ අයිතියට රුපියල් 43,000කට ගත්තු නිවසේ. ඒක දැන් කෝටි 2ක් විතර වටිනවා.1981 මගේ සැමියා මැරුනේ.

පසුව මගේ දෙවැනි පුතා ලේලි එක්ක එහේ හිටියා.ඒත්
මේ ළඟදී දවසක මගේ අල්මාරිය කඩලා හොරෙන් ඔප්පුව අරගෙන දෙවැනිය ඒක බලෙන් එයාගෙ නමට ලියවා ගත්තා.පස්සෙ මාව එළවල දැම්මා. ඉන් පසු මං ටික කාලයක් හිටියෙ ලොකු පුතා ගාව.එයාගෙ පවුල් ජීවිතේ අවුල් වෙලා තිබුනේ. එයා වෙන එක්කෙනෙක් එක්ක ඉන්නෙ.එයාට මාව බලාගන්න බැහැයි කියල තිබුණා. පසුව දෙවැනිය ඇවිත් මට මානසික ආබාධයක් තියනව කියල දන්වල පිටිපන පැත්තෙ මහළු මඩමකට දැම්මා.ඒත් ඒකේ වියදම් වැඩියි කියල පස්සෙ ලොකු පුතා ඇවිත් මාකොළ පැත්තෙ කුලී ගෙදරක නතර කළා. එතැනත් වියදම අමාරුයි කියල තමයි අන්තිමේ මාව දෙවැනිය ගාවට ගෙනවිත් ඇරළුවේ.

ලේලි මට කැමති නෑ. ‘රැජිණ මමයි අපේ රාජ්ජේ‘ කිය කියා මට විහිළු කරනවා. සලකන්නෙ නෑ.
බාල පුතා මියගියාම රුපියල් ලක්ෂ 20ක් ලැබුණා. දැනටත් මාසිකව රුපියල් 90,000ක් විතර ලැබෙනවා. ඒ සේරම මට පහරදීලා , තරවටු කරලා ලේලි සහ පුතාලා ගත්තා. මේ ලඟදී සල්ලි දුන්නේ නැහැ කියලා මගේ අත කරකවලා ගහලා සල්ලි ගත්තා. පුතාගේ වාහනයට ගෙවන්න කියලා හැම මාසේම රුපියල් 40,000 ගානේ ලක්ෂ 2ක් අරගෙන තියෙනවා. මගේ හැඳුනුම්පතයි , මියගිය පුතාගේ වන්දි ලියකියවිලියි මේ ලඟදී පිච්චුවා.
මාකොල කුලියට ගත්තු කාමරයක පාඩුවෙ ඉන්දෙද්දි තමයි පස්සේ 12 වැනිදා හවස ලොකු පුතා ආපහු ඇවිත් වෙන තැනකට යන්න කියලා වාහනේ දාගෙන දෙවැනි පුතාගේ මොරකැටියේ ගේ ළඟට අරන් ආවේ. මම ආවා කියලා ලේලි දැනගත්ත ගමන් ගේට්ටුව ලොක් එක දාලා වහලා ලයිට් නිව්වා.

ඊට පස්සේ ලොකු පුතා කිව්වා ඒගොල්ලො කාල බීල ඉන්නෙ අම්මගෙ සල්ලි වලින්නේ. කොයි වෙලාවක හරි ගෙදරට ගනී කියල. එහෙම කියලා මාව මහ පාරේ බස්සලා යන්න ගියා.මට කරකියා ගන්න දෙයක් නැතිව පාරේ ගිය ත්‍රීවිලරයකින් පොලිසියට ආවා. මට හරිම ලැජ්ජයි. ඇයි මෙහෙම දරුවො අම්මලට සලකන්නේ. අද පෝය දවසේ මට සැලකුවේ මෙහෙමයි".
ඇයට අයිතිව තිබුණ නිවසටම ඇයට ඇතුළුවන්නට බැරිව මෙසේ මහමග අසරණවූ පසු ඇය පොලිසි ගොස් සියලු සිද්ධිය හෙළි කර තිබුණි.
සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා කොට්ටාව පොලීසිය  ඇගේ පුතුන් දෙදෙනාට දැන්වූ පසු ඔවුන් දෙදෙනා ඊයේ (13) උදෑසන පොලිසියට පැමිණි අතර එවුන් අතින් සිදුවූ වරද පිළිගෙන තිබේ. පසුව තම මව වැඩිහිටි නිවාසයකට බාර දෙන බව පවසා ඇය රැගෙන ගොස් ඇත.

විස්තර - අයිරංගි එදිරිසිංහ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment