ගාලු පාරේ වාහන 4 ක් එකට ගැටී 28 කට තුවාල

ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පිටවැල්ල ප්‍රදේශයේ ගාල්ල දෙසට ධාවනය වූ වාහන හතරක් එකිනෙක ගැටීමෙන් ඊයේ (12දා) උදෑසන 7.00ට පමණ සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පාසල් ළමයින්
දෙදෙනකු ඇතුළු 28 දෙනකු
මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත. අනතුරින් පසුව ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබිණි.

ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදි ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී හදිසියේම ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් අනතුරින් වළක්වාගැනීමට නවතා ගැනීමට උත්සාහ කිරිමේදී මෙම අනතුර සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ට්‍රක් රථය නවතා ගැනීමත් සමඟම ඊට පිටුපසින් පැමිණි පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථය එහි ගැටී ඇති අතර ඊට පිටුපසින් පැමිණි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථය පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයේ ගැටී ඇත. ඊටත් පිටුපසින් ධාවනය වෙමින් තිබූ ප්‍රධාන පෙළේ සපත්තු නිෂ්පාදන කම්හලක සේවක සේවිකාවන් ප්‍රවාහන කරමින් තිබූ වෑන් රථය වැදී ඇත.

මෙම අනතුරින් වඩාත්ම හානි වී ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් තිබූ පිරිසට වන අතර කොග්ගල ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් පිරිසක් සහ පාසල් ළමයි කිහිප දෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත. රෝගීන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් බොහෝ දෙනකුගේ මුහුණ ආශ්‍රිතව ඇතිවූ තුවාල සහ දත් කැඩීයෑම් දක්නට ඇති බවත් වාර්තා වේ.

ගාල්ල - එච්. පරණවිතාරණ, අක්මීමණ තේජා සිංහබාහු
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment