මලාලා ඔක්ස්ෆර්ඩ් සරසවියට

මලාලා ඔක්ස්ෆර්ඩ් සරසවියට
මේ වන විට මලාලාගේ වයස අවුරුදු 20 කි. ඇය බ්‍රහස්පතින්දා දිනයේ සිය ලන්ඩන් ඒ ලෙවල්ස් විභාගයේ ප්‍රතිඵල ලැබුවාය. එම ප්‍රතිඵල මත පදනම් ව ඇයව ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය හැදෑරීම සඳහා තෝරාගෙන තිබේ. ඈ එහිදී හදාරන විෂයන් වන්නේ දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාවයි.
 
මලාලා මේ සම්බ්ධයෙන් පැවති සම්මුඛ පරීක්ෂණයට ද මේ වන විට මුහුණ දී තිබේ. ඉන් අනතුරුව ඇය මාධ්‍යය වෙත පවසා තිබුණේ “ජීවිතයේ මුහුණ දුන් අසීරුතම සම්මුඛ පරීක්ෂණය එය වූ බව” යි. කෙසේ නමුත්  ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් උපාධි වැඩසටහන සඳහා තෝරාගෙන ඇති පුවත ඇය වෙත ලැබුණේ අද ය. එවිට ට්විටර් පණිවුඩයක් තබමින් ඇය මෙසේ කීවාය. “ඔක්ස්ෆර්ඩ් වෙත යන්නට නොඉවසිල්ලෙන් පසුවෙමි....” 
 
එකල ඇය ජීවිතය අබියස වූවාය. දැන් ජීවිතය ඇය අබියස ය. 
 
ඒ 2012 වසරේ ඔක්තෝබර් 12 නමැති දෛවෝපගත දිනයේ ඇය තලෙයිබාන් මරණ තර්ජන මධ්‍යයේ සුපුරුදු පරිදි පාසල් යාම පිණිස පාසල් බසයට නගිමින් සිටියාය. තලෙයිබාන් ත්‍රස්තවාදියෙක් හරියටම ඇගේ ඔළුව කුඩු වෙන්නට වෙඩි තැබුවේය. නමුත් දෛවයේ ලියැවී තිබුණේ වෙනත් කතාවක් නිසා ඇය හිසට වෙඩි වැදී දිවි බේරාගත්තාය. මුලින් රාවල්පිණ්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය පසුව බර්මින්හැම් හි ක්වීන් එලිසබෙත් රෝහල වෙත ගෙන එන ලදී. තලෙයිබානය කුපිත වන්නට ඇය කර තිබූ මහ වරද වූයේ, ඒ ත්‍රස්තවාදීන්ගේ තර්ජන මැදින් මුස්ලිම් ගැහැනු ළමුන් පාසල් යාමට විඳින දහ දුක ගැන තම බ්ලොග් අඩවියේ ඉංග්‍රීසි බසින් සටහන් කිරීමයි. සුවපත් වීමෙන් පසුව ඇය බර්මින්හැම් හි ම ජීවත් වන්නට පටන් ගත්තේ නැවත පාකිස්ථානය වෙත ගියහොත් දෙවන වාරයක් නොලබාම තලෙයිබාන්වරුන්ගෙන් මැරුම් කන්නට සිදුවන බව දන්නා නිසා ය. අදටත් ඇය පර්දාව හිස පළඳින්නීය. ඒ තමන්ගේ මුස්ලිම් ජාතියේ සංකේතයක් වශයෙන් නොවේ. වෙඩි පහරින් සහ සැත්කමින් ඇද වී ගිය හිස්කබල සඟවා ගන්නට ය. මේ පුංචි කෙල්ල මරණය අබියස කළ මහ යුද්ධය නිසා ලෝකය, ගැහැනු ළමුන් ඉගෙන ගන්නට විඳින දහදුක ගැන දැන ගත්තේය. ඇය වැනි මලාලා යුසුෆ්සායිලා දස දහස් ගණනක් ඇය නිසා දැන් පාසල් යති. “ගැහැනු දරුවෙකුට උගන්වන්න. එවිට පරපුරක්ම ඉගෙන ගත්තා වෙයි” යනුවෙන් කියමනක් තිබේ. ගැහැනිය දරුවන් වදන්නිය සහ පරපුර තනන්නිය පමණක් නොව, ඊට වඩා බොහෝ එහා කෙනෙක් බව සපථ කළ අපේ කාලයේ පුංචි වීරවරිය ඇයයි. 
 
- අමාලි ජයවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment