සයිප්‍රසයේදී පිහි ඇනුමකින් මියගිය ලාංකිකයාගේ සිරුර ලංකාවට


පසුගිය ජූලි මස 23 වැනිදා ඉරිදා ශ්‍රමික නිවාඩු දිනයේදී මිතුරකු සමඟ ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් 24 වැනිදා අලුයම් කාලයේ සාහසිකයකුගේ පිහිපහරින් මියගිය ඇන්තනී සමරකෝන් මහතාගේ සිරුර අද (14දා)
ගුවන් මඟින් මෙරටට
රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

සයිප්‍රසයේ දෙවැනි අගනගරය වන ලිමාසෝල් නගරයේ විවිධ රැකියාවල නිරත වෙමින් පුරා වසර ගණනක් එරට ජීවත් වී ඇති මොහු මාතලේ වහකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවකු යැයි එරට සේවයේ නිරත ලාංකික ශ්‍රමිකයෝ පැවැසූහ. මෙම මිනී මැරුම සිදු කළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර මිතුරන් දෙදෙනකු අතර මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින් බස්වීමක් මෙලෙස සාහසික මරණයකින් කෙළවර වූ බව ලිමාසෝල් නගරයේ සේවයෙහි නිරත මියගිය ඇන්ටනී පිළිබඳව දන්නා පිරිස පවැසූහ.

එරට සේවයේ නිරත 20,000කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙම මිනී මැරුමෙන් පසුව විශාල අපහසුතාවකට පත්ව ඇති බවත් පැවැසේ.
සයිප්‍රස් හාම්පුතුන් පිරිමි ශ්‍රමිකයන් දෛනික කුලී වැඩකට හෝ ගෙන්වා ගැනීමට අදිමදි කරන බවත් අපේ රටට විශාල අපකීර්තියක් මෙයින් අත් වූ බවත් ලිමාසෝල් නගරයේ සේවයේ නිරත ලාංකික ශ්‍රමිකයෝ පවසති. වීසා බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව එරට රැඳී සිට ඇති මියගිය ඇන්ටනී සමරකෝන් මහතාගේ සිරුර සයිප්‍රස් ශ්‍රී ලංකා කොන්සුලේට් කාර්යාලය මැදිහත්වීම මත මෙරටට රැගෙන විත් ඔහුගේ පවුලේ නෑදෑයන්ට භාරදීමට නියමිතව ඇත.

කැලණිය - කුසුම් එස්. හැන්නදි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment