පළමුවෙන් ම කිව යුත්තේ පරමාදර්ශයක් ලෙස ගෙන පෙන්වන්නට, සංසන්දනය කරන්නට ආණ්ඩු අපට නොමැති බවය. බ්‍රිතාන්‍යයන්ගෙන් හිමි වූ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය ලංකාවට ආවේණික පසුගාමීත්වයක් සමඟ ඇදී ආ දශක ගණනාව තුළ බිහි වුණු, බිඳ වැටුණු සෑම ආණ්ඩුවක් ම පාහේ ඊට අදාල හොඳ නරක අඩු වැඩි වශයෙන් උරුම කරගෙන තිබිණි. ධනවාදය තුළ නිවුන් සොහොයුරන් වන සංවර්ධනය සහ දූෂණය එකිනෙකා අත්වැල් බැඳගෙන විටෙක හැල්මේ ද විටෙක පිම්මේ ද දුවනු දැකගත හැකිය. එහෙත් හැමවිටම ප්‍රගතිය දෙසට වන්නා වූ මිනිස් බලාපොරොත්තුවක් තිබේ. මේ යුගයේදී අප වැනි රටකට ඇති ප්‍රශ්නය වන්නේ එකී බලාපොරොත්තුව හමුවේ අප ස්ථානගතවී සිටින්නේ කොතැනද යන්නය.
බලහුවමාරුවකින් පසුව ඒ පැත්තටත් මේ පැත්තටත් පනින පිමි, සීමා ඉරි වෙන්කර ගැනීම්, යළි සැකසීම් ස්වභාවිකය. 2015 ජනවාරි 08 සිට 2015 අගෝස්තු මැතිවරණය දක්වා කාල සීමාව තුළ දක්නට ලැබුණේ විධායක බලය මාරුවීමෙන් අනතුරුව ඊට සාපේක්ෂව සිදු වූ ඉහත කී පන්නයේ සිදුවීම් පෙළකි. ජනතා ඡන්දයෙන් ආණ්ඩුවක් බිහිවූයේ අගෝස්තු 18 වනදාය. එය රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි මූලික එකඟතාවයන්ගෙන් බිහිවුණු යම්පමණකට හෝ 'ජාතික ආණ්ඩුවක්' කිවහැකි යමකි. කොතෙක් අඩුපාඩු සහිතව වුවද ජාතික ආණ්ඩුවක් වැනි එකක් මෙතෙක් දුර ගමන් කළේ පළමු වතාවටය. එය සුභවාදී දෙයක් ලෙස දැකිය හැකිය.
එය මෙතෙක් දුර ගමන් කළේ එම පක්ෂ දෙකෙහි නායකයින් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගේ අවංකකම නිසා බව සඳහන් කළ යුතුය. මේ අවංකකම පිළිබඳව සඳහන දුටු සැණින් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවීම සාධාරණය. එහෙත් ජනතාවට කෙසේවෙතත් මෛත්‍රී සහ රනිල් ඔවුනොවුන්ට අවංක නොවී නම් වසර දෙකක් මෙකී සම්මුතිවාදී ආණ්ඩුව ඇදගෙන යා නොහැකි බව අප පිළිගත යුතුව ඇත. ආණ්ඩුව පවත්වාගෙන යාම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේනට හෝ ලැබුණු මහාලොකු සහයෝගයක් නොමැත. විශේෂයෙන් ම මේ නායකයින් දෙදෙනාටම සිය පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අභියෝග තිබුණු බැවින් පක්ෂ තුළින්ම ගැටළු මතුවීම, කකුලෙන් ඇදීම අනිවාර්යයක්ව තිබියදී ඔවුන් මෙතෙක් කලක් ආණ්ඩුව පවත්වාගැනීම සහ 2020 වනතුරු එය පවත්වාගෙන යාමට එකඟ වීම ප්‍රශංසනීයය.
ආණ්ඩුව බිහිවුණේ ම ශ්‍රීලනිපයෙහි බෙදීමක් සනිටුහන් කරමිනි. එසේම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එජාපයට බලවත් අපවාදයක් හිමිව පැවතිණි. ජාතිවාදය ඇවිළවීමේ ප්‍රයත්නයක් අදටද නිමක් නැත. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව පෙන්වූ අසමත් භාවය මහත්ය. තමන්ගේම ආණ්ඩුවක් නොමැති කමින් එජාප මැති ඇමතිවරුන් දක්වන අප්‍රසාදය පසෙකින්ය. ජනතාවගේ පැත්ත පසෙකින්ම තබා බැලුව ද මෙවන් වටපිටාවක් තුළ ආණ්ඩුව මේ තරම් දුරක් ඇදගෙන එන්නට හැකියාව ලැබෙන්නේ රනිල්ගේ සහ මෛත්‍රීගේ අත්දැකීම් බහුලත්වය සහ දේශපාලනික පරිණත භාවය නිසාය. බාහිර බලවේග නොසලකා හැරියද ආණ්ඩුව බිඳවැට්ටවීම සඳහා තමතමන්ගේ පක්ෂ වෙතින්ම එල්ල වූ පීඩනයට ඔවුන් මෙතෙක් සාර්ථකව මුහුණ දුන්නේ එකී ගුණයන් නිසාමය.
ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දුන් සිදුවීම් ලෙස රවී කරුණානායකගේ සහ විජේදාස රාජපක්ෂගේ ඇමතිධුර අහිමි කිරීම් ගත හැකිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේනට රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සමඟ දැඩි ව්‍යාපාරික සම්බන්ධකමක් ඇත. එසේම මෛත්‍රීගේ බෑණාට විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා සමඟ ප්‍රබල ව්‍යාපාරික සම්බන්ධකම් ඇත. එහෙයින් පවුල තුළින් ම විරෝධය එල්ල වෙත්දී පවා රවීව සහ විජේදාසව තනතුරු වලින් ඉවත් කිරීමේ තීරණයට එන්නට මෛත්‍රී පසුබට වූයේ නැත. පවුල්වාදය සම්බන්ධ චෝදනා තිබියදීම වුව එය අගය කළ යුතුය.
මෙතෙක් අප විග්‍රහ කළේ ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමේදී පසුගිය දෙවසරෙහි වෙනස පිළිබඳවය. රටක් ලෙස ඉදිරියට යාමට නම් මෙකී නායකයින් දෙපළ ඔවුනොවුන්ට අවංක වීම කොහෙත්ම සාධකයක් වන්නේ නැත. අප මුලින් සඳහන් කළ ප්‍රගතිය දෙසට වන්නා වූ අඟලක තරම් හෝ පියවරක් තබන්නට හැකිවන්නේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරගැනීමට මේ ආණ්ඩුව සමත් වන්නේ නම් පමණි. පසුගිය දෙවසරෙහි දෝශ ඉවසා දරාගත් ජනතාවට සෙතක් වනු ඇත්තේ එවිටය.
0 comments :
Post a Comment