දූෂිතම වෙරළ තීර ඇති රටවල් අතරින් ලංකාවට 5 වැනි තැන‍

ජාත්‍යන්තර දත්ත අනුව ලෝකයේ දූෂිතම වෙරළ තීර අතර 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ කළමනාකරු ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ අද (15දා) සිට ඇරඹෙන ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය සහ වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට ඊයේ (14දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ ද

පැවැසීය.
2010 වර්ෂයට අදාළ දත්ත අනුව අපගේ රටට හිමිවී ඇති තත්ත්වය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ. ශ්‍රී ලංකාව ආසියානු සාගර කලාපයේ මූලස්ථානයක් ලෙස ඉතා වැදගත්.

අපි වසරකට ගංගා සහ ඇළ දොළ ආහ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් මෙට්රික් ටොන් 1.59ක් මුදාහරිනවා. වෙරළ දූෂණයට බලපා තිබෙන්නේ එම තත්ත්වයයි. 1975ට වඩා ශ්‍රී ලංකාවෙත් ලෝකයෙත් ප්ලාස්ටික් පරිභෝජනය මේ වන විට සියයට 625 ගුණයකින් වැඩිවෙලා.

ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවශ්‍ය වුවත් සීමා රහිතව පරිභෝජනය කිරීමත් අවිධිමත් ලෙස බැහැර කිරීමත් නිසා පරිසර ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. වෙරළ කලාපයේ තිබෙන කුණුවලින් 10%ක් පමණයි එම ප්‍රදේශයෙන් මුදා හැරෙන්නේ. අනිකුත් 90%ක් කුණු කසළ රට අභ්‍යන්තරයෙන් වෙරළට ගසාගෙන එන්නේ ගංගා දිගේ. තායිලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව ආදී රටවලින් දියවැල් මඟින් මෙවැනි අපද්‍රව්‍ය ගසාගෙන එනවා.

අපි මේ වසරේදී එකතු කරන ප්ලාස්ටික්, පොලිතින් ආදිය වර්ග කොට ඒවා බෙදාහරින සමාගම් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ ආයතන මේ නොදිරන අපද්‍රව්‍ය වෙළෙඳපොළට ඉක්මනින් එක් කළත් ඉන් පරිසරයට සිදුවන බලපෑම ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ.
ප්ලාස්ටික්, පොලිතින් ආදී කසළ නිසා මුහුදු වෙරළ, තෘණ මෙන්ම ජීවීන් පවා විනාශ වෙනවා. ආලෝක පාරදෘශ්‍යභාවය අඩුවීමෙන් මත්ස්‍ය සම්පත අඩු වෙනවා. අපේ කසළ වෙන තැනකට බැහැර කොට වගකීමෙන් බැහැර වෙන්න කිසිවකුටත් බැහැ.

ප්ලාස්ටික් පුටු ආදියෙන් මුදා හැරෙන මයිකේරා, ප්ලාස්ටික් මිනිසාටත්, පරිසරයටත් විශාල තර්ජනයක්. ඒ ගැන සමාජයේ හොඳ කතිකාවතක් නැහැ. පරිසරය ආරක්‍ෂා කිරීමට, දැනුම, ආකල්ප, කුසලතා සියල්ල සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා ජනමාධ්‍යයත් දායක විය යුතුයි.

දෙනගම ධම්මික රණවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment