චිලී ජනපතිනිය සමරිසි විවාහ නීතිගත කිරීමට පෙරමුණ ගනියි

චිලී ජනපතිනිය සමරිසි විවාහ නීතිගත කිරීමට පෙරමුණ ගනියි

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලද්දේ චිලී ජනපතිනී මිෂෙල් බැක්ලෙට් විසින් ම වීම විශේෂත්වයකි. ජනාධිපති මාළිගයේ ඒ සඳහා විශේෂ උත්සවයක් ද පැවැත්විණි.

 “පැරණි අගතීන් ආදරයට වඩා ශක්තිමත් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ’‘ යනුවෙන් ද ඇය එහිදී කියා සිටියාය.

 චිලී රාජ්‍යය ලතින් ඇමරිකාවේ වඩාත්ම සම්ප්‍රදායික සමාජයක් තිබූ රටක් වශයෙන් සැලකේ. චිලී ජනපතිනිය මේ තත්වය මගහරවා ගැනීම සඳහා පසුගිය කාලයේ පියවර රාශියක් ගෙන තිබේ. 
චිලී රාජ්‍යය තුළ සමකාමී හැසිරීම් සාපරාධී නොවන බවට නව නීති ගෙන ආවේ 1999 වසරේදී ය. 2015 වසරේදී එරට සිවිල් සමවාය (civil union) නීතිගත කෙරිණි. මෙයට සතියකට පමණ පෙර චිලී රාජ්‍යය තුළ එතෙක් බලපැවැත්වූ ගබ්සා තහනම ද සම්පූර්ණයෙන් ඉවත් කෙරිණි. 

ලතින් ඇමරිකානු රටවල් අතරින් සමරිසි විවාහ නීතිගත කිරීම සඳහා වෙනම නීති/අණ පනත්/නීති සංග්‍රහ මීට පෙර තිබුණේ ආර්ජන්ටිනාව සහ උරුගුවේ රාජ්‍යයන් තුළ පමණි. බ්‍රසීලය සහ කොළොම්බියාව යන රටවල ද සමරිසි විවාහ නීතිගත කර ඇති නමුත් එසේ කර තිබෙන්නේ වෙනම නීති මගින් නොව අධිකරණ තීන්දු හරහා පමණි.

 චිලී ජනපතිනී මිෂෙල් බැක්ලෙට් ලබන 2018 මාර්තු මාසයේ සිය ධුර කාලය නිමා කිරීමට නියමිත අතර ඇය විසින් ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත එයට පෙර කොංග්‍රස් අනුමැතිය ලබාගතහොත් පමණක් එය නීතියක් බවට පත්වනු ඇත. කෙසේ නමුත් රටේ රාජ්‍ය නායිකාව විසින්ම මේ සඳහා මූලිකත්වය ගැනීම ලොව පුරා මහත් පැසසුමට ලක් වී තිබේ. 


-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment