'මාෆියාවේ බලපෑමෙන්' සම්බා හා නාඩු ඉහළට.


සහල් පාලන මිල මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ මාෆියාවට නතු වීමෙන් සම්බා සහල් කිලෝව රුපියල් අනූහතක් (රු. 97) හා නාඩු කිලෝව රුපියල් අනූ දෙක (රු. 92) දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (31දා) පැවැසීය.

දඹුල්ල සියපත හෝටලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ බැව් පැවැසූ කරුණාරත්න මහතා ගම්මානයක සිල්ලර කඩයක සම්බා සහල් කිලෝ එකක් රුපියල් එකසිය පහකට (රු. 105) හා නාඩු සහල් රුපියල් සීයය (රු. 100) දක්වා වැඩි වී ඇතැයි පැවැසීය.

වෙළෙඳපොළේ සහල් පාලන මිල පවතින සමයේ සම්බා හාල් රුපියල් අසූවක (රු. 80) මිලකට හා නාඩු සහල් රුපියල් හැත්තෑ දෙකක (රු. 72) මිලකට පැවැති බවත් පාලන මිල ඉවත් කළද ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි සහල් මිල අඩු වී නොමැති බැව් ඒ මහතා පැවැසීය.

ඊට හේතුවී ඇත්තේ, දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් දේශපාලඥයන්ගේත්, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ  හා වී අලෙවි මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේත් සහයෝගය මත පෞද්ගලික අංශයේ සහල් ආනයනකරුවන්ගේ සාමූහිකත්වයෙන් ක්‍රියාත්මක  මාෆියාවක බලපෑම් නිසා බව මේවනවිට අනාවරණය වී ඇත.

සමුපකාර ව්‍යාපාරය :

නාඩු සහල් කිලෝවක් දැනට වෙළඳ පොලේ පවතින මිලට වඩා රුපියල් දහයකින් පමණ අඩු මිළකට ලබාදීමට සමුපකාර ව්‍යාපාරය කටයුතු යොදා ඇතත් මෙම සහල් මාෆියාවෙන් ඊට බාධා එල්ලවී ඇති බව ජීවන වියදම් කමිටු ප්‍රකාශකයෙක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසීය.

එසේ සමුපකාර ව්‍යාපාරය අඩු මිලට සහල් ලබාදීමට එකඟව තිබියදී කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහල් මෙට්‍රික්‌ ටොන් ලක්‍ෂයක්‌ වැඩි මිලකට ගෙන්වීමට අනුමැතිය දී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවුවද කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසන්නේ, සහල් සඳහා පනවා තිබූ පාලන මිල පසුගිය 16 වැනිදා සිට ඉවත් කිරීමත් සමග ඇතැම් වෙළෙඳුන් කූට ලෙස මිල වැඩි කිරීම හේතුවෙන් මෙසේ සහල් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment