ඌව මහා නායක හාමුදුරුවන්, ජනාධිපති ලේකම්ගෙන් හොඳවයින් අහගෙන [Gossip]


ඌව පළාතෙ ප්‍රසිද්ධ පන්සලක මහා නායක හාමුදුරුවො කෙනෙක් පහුගිය දවසක ජනාධිපතිතුමා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට වැඩම කරලා. උන්නාන්සෙ ගැන ජනාධිපතිතුමා හොඳාකාරවම දන්නවා. නායක හාමුදුරුවො හැම වෙලාවෙම ප්‍රදේශයේ, පළාතේ, බුද්ධ සාසනයේ විවිධ ප්‍රශ්න අරගෙන තමයි ජනාධිපතිතුමාව හම්බවෙන්න එන්නෙ. ඒ ප්‍රශ්න එසැනින්ම ජනාධිපතිතුමා විසඳනවා. නමුත් අන්තිමට තියෙන්නෙ බෙල්ල ගහලා යන ඉල්ලීමක්. ඒ පිළිබඳව පසුව සලකා බලන්නං කියලා ජනාධිපතිතුමා වැඳලා හාමුදුරුවන්ට පිටත් කරලා අරිනවා.

පහුගිය අවුරුදු දෙක හමාරට අඩුම ගානෙ විසි-තිස් වතාවක්වත් ඔය කියපු නායක හාමුදුරුවො ජනාධිපතිතුමාව හම්බවෙන්න ඇවිල්ලා තියනවා. ඇත්තම කියනවා නං ප්‍රදේශයේ ජනතාවගෙ පොඩි පොඩි ප්‍රශ්න ඉස්සරහට දාගෙන හාමුදුරුවො ජනාධිපතිතුමාව හම්බවෙන්න එන්නෙ  ලොකු වැඩක් කරගන්න. ජනාධිපතිතුමා පහුගිය අවුරුදු දෙක හමාරෙම කළේ 'සලකා බලන්නං හාමුදුරුවනේ' කියලා හාමුදුරුවන්ව ආපහු හැරවීම.

මෙදා ගමන හාමුදුරුවො ඇවිල්ලා ඉන්නවා දැක්ක ජනාධිපතිතුමා එතුමගෙ ලේකම්වරයෙක්ට කතා කරලා මෙහෙම කියලා තියනවා. 'ඔය හාමුදුරුවො අඩුම ගානෙ ඉල්ලීම් දහයක්වත් ඉල්ලනවා. ඒවා සේරම ලේසියෙන්ම කරන්න පුලුවන් ඒවා. ඒත් අන්තිමට ඉල්ලන එක හිතන්නවත් බෑ. ඒක නිසා ලේකම්තුමා කතා කරලා බලලා ෂේප් කරලා දාන්න.'

ජනාධිපතිතුමාගෙ උපදෙස් ලැබිච්ච ලේකම්තුමා හාමුදුරුවො ලඟට ගිහිල්ලා, වැඳලා කරලා අහලා තියනවා 'අපේ හාමුදුරුවනේ, මොනවද කෙරෙන්න ඕන' කියලා. ලේකම්තුමා දිහා රවලා බලපු හාමුදුරුවෝ 'කෝ ජනාධිපතිතුමා ? මට තමුන්නාන්සෙව හම්බ වෙන්න ඕන නෑ. මට ඕන ජනාධිපතිතුමාව හම්බ වෙන්න' කිව්වලු. ලේකම්තුමා බොහොම යටහත් පහත් විදියට 'නෑ අපේ හාමුදුරුවනේ, ජනාධිපතිතුමාමයි කිව්වෙ ඔබවහන්සෙව රස්තියාදු කරන්නැතුව අවශ්‍යතාවය අහලා බලලා, ඒක ඉටුකරලා දීලා අරින්න කියලා. එතුමා කලින් දාගත්ත සාකච්ඡා කිහිපයක් නිසා අද හරිම කාර්යබහුලයි.'

'හහ්... එහෙමද ? අපිට එහෙම තමයි දැන් සලකන්නෙ... නේද ? අපි ජනවාරි අටවෙනිදා එතුමාව බලයට ගේන්න මරණ වරෙන්තුව අතේ අරන් කටයුතු කරපු අය. දැන් ඉතිං ඒවා අමතකයි.' කියමින් හාමුදුරුවො දෙස් දෙවොල් තියන්න පටන් අරන්. ලේකම්තුමා කොහොම හරි උන්නාන්සෙ තමන්ගෙ කාමරේට එක්කන් ගිහින් උන්නාන්සෙගෙ සියලුම ඉල්ලීම්වලට එසැනින්ම විසඳුම් ලබලා දීලා තියනවා. ඊට පස්සෙ ඇවිල්ලා තියෙන්නෙ එකොළොස් වෙනි ඉල්ලීම.

'මං පහුගිය අවුරුදු දෙක හමාර තිස්සෙම මේක ඉල්ලනවා. හැමදාම කියන්නෙ ඉදිරියෙදි සලකලා බලන්නං කියලා. අපි මහින්ද මහත්තයට වැඩ කරලා එතුමගෙන් මේක ඉල්ලුවා නං පැය 24 න් මේක අපිට හම්බ වෙනවා. අපිට දැන් එතුමත් නෑ මෙතුමත් නෑ.'

'තරහා ගන්න එපා හාමුදුරුවනේ, මොකක්ද ඔබවහන්සේට අවශ්‍ය ? මට කියන්න, මං කරන්න බලන්නං.'

'පහුගිය අවුරුදු දෙක හමාර තිස්සෙම මං එක ඉල්ලීමයි ඉල්ලුවෙ. මං බෙන්ස් කාර් ඉල්ලුවෙ නෑ, මහවැලි අමාත්‍යංශය තියෙන්නෙ ජනාධිපතිතුමා යටතෙ. මං ඉල්ලන්නෙ මහවැලි අමාත්‍යංශය යටතේ තියන ඉඩම්වලින් අක්කර 500 ක් විතරයි. මං ඒ අක්කර 500 වැඩිදියුණු කරන්නෙ රටේ සුභසිද්ධිය වෙනුවෙන්. ඒකෙන් මට වෙන සෙතක් නෑ.'

'අපේ හාමුදුරුවනේ ඒක ගැන නං මට පොරොන්දු වෙන්න බෑ. බෙන්ස් කාර් එකක් හොයලා දුන්නත් ඔය ඉල්ලීම නං ලේසිපාසු එකක් නෙවෙයි. ජනාධිපතිතුමාටත් හිතුමතේට එහෙම ඉඩම් ලබා දෙන්න බෑ. ඔබවහන්සෙ මේක ලිඛිතව ඉල්ලන්න, එතකොට ජනාධිපතිතුමා පිළිතුරක් දේවි.'

'අනේ මං නොදන්න පිළිතුර...' කියමින් නායක හාමුරුවන් වහන්සේ සිය අත්බෑගය හා වටාපත ද රැගෙන ලේකම්තුමාගේ කාර්යාලයෙන් පිටතට එත්ම දැකගැනීමට හැකිවී ඇත්තේ කතෝලික පූජකවරුන් පිරිසක් ඉහළ මාලයේ සිටි ජනාධිපතිවරයා හමුවී පිටත්ව යන ආකාරයයි.

'හුහ්.... ඔය පේන්නෙ. අපිව හම්බවෙන්න බෑ, පාදිලින්ව හම්බවෙන්න පුලුවන්' යනුවෙන් ලේකම්වරයා දෙසට හැරී පවසත්ම ලේකම්වරයා පවසා ඇත්තේ,

'තරහා අවසර අපේ හාමුදුරුවනේ, පාදිලිතුමන්ලා එන්නෙ යමක් දීලා යන්න මිසක් මෙතනින් දේවල් අරන් යන්න නෙවෙයි' කියත්ම මහා නායක හාමුදුරුවෝ එය නෑසුනා සේ අඩියට දෙකට පිටතට වැඩම කර ඇත.

(LNW)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment