ජෝසෆ් ඉවතට : රවී ජාඇලට කාවිංග පත්කරයි [Videos]


ජා ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය ජෝසෆ් මයිකල් පෙරේරා මහතා වෙනුවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා එම ආසනයේ සංවිධායක ලෙස පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

එජාප යොවුන් පෙරමුණේ ප්‍රධානියකු වන කාවිංග ජයවර්ධන මහතා එම තනතුරට පත් කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ එජාප උප නායක රවී කරුණානායක මන්ත්‍රීවරයාය.

එසේ කාවිංග ජයවර්ධන මහතාට එම ආසනය පැවරීමේ මුලික පියවරක් ලෙස රවී කරුණානායක මහතා විසින් ජාඇල ගුරුගේ ශාලාවේ ඊයේ (23) කැඳවා තිබු යොවුන් පෙරමුණේ විශේෂ රැස්වීමකට ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වීම නිසා ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් එම රැස්වීම අතරමග නවතා දැමීමට සිදුවිය.

ජෝසෆ් මයිකල් පෙරේරා මහතා සභාව ඇමතීමට සුදානම් වූ අවස්ථාවේදී රවී කරුණානායක මහතාගේ හිතවතුන් ශබ්ද විකාශන යන්ත්‍ර විසන්දි කර තිබිණ.

කෙසේවුවද ජෝසෆ් මයිකල් පෙරේරා මහතා සභාව අමතමින් රවී කරුණානායක මහතාට බැන වැදීමට සමග කරුණානායක මහතා ඇතුළු පිරිස සභාවෙන් ඉවත් විය.

ජෝසෆ් පෙරේරා මහතා රැස්වීම භූමියෙන් පිටව යද්දී කරුනානායක මහතාගේ ආධාර කරුවන් 'හු' කියමින් විරෝධය පලකරනු දක්නට ලැබිණ.

අනතුරුව ආසනයේ සංවිධායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව ජෝසෆ් මයිකල් පෙරේරා මහතා එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතාට හා සභාපති මලික් සමරවික්‍රම මහතාට දුරකථන ඇමතුම් ලබාදෙමින් විමසීම් කර ඇති අතර, තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව ඔවුන් පවසා ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කාවිංග ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයකු වේ.

(Sri Lanka Mirror)



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment