නඩු බඩු සහ සාක්කි ලෙස උපත් පාලන කොපු එපා.


පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරියන්ට එරෙහිව සාක්කි ලෙස උපත් පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස්ථානවලට පොලිස් මූලස්ථානය නිල පණිවිඩයක් මගින් දැනුම්දී ඇත.

ගණිකා වෘත්තියේ යෙදුන කාන්තාවක් උපත්පාලන කොපු සමග අත්අඩංගුවට ගත් බවට ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් කෙරෙහි අවධානය යොමුවීමෙන් පසු මෙම නියෝගය පනවා ඇති බවද පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති (නීති දිසාව), විනය හා කල් කිරීම් අංශය විසින් මෙම නියෝගය පනවා ඇත.

හේතුව මෙන්න !

රටපුරා පිහිටි පොලිස්ථානවලින් ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පාදඩ හා අයාල ආඥා පනත්වලට අදාළව චෝදනා ගොනු කරනු ලබයි.

එහිදී සැකකාරියන් එම වෘත්තියේ නියැළුන බව සනාථ කිරීමට ඔවුන් සන්තකයේ උපත් පාලන කොපු සහ වෙනත් ලිංගික උපකරණ ඔවුන්ට එරෙහි සාක්කි ලෙස සහ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම කරනු ලබයි.

එහෙත් උපත් පාලන කොපු සහ වෙනත් ලිංගික උපකරණ ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ උපකරණ බැවින් ඒවා ළඟ තබා ගැනීම වරදක් නොවන නිසා එවැනි උපකරණ නඩුභාණ්ඩ ලෙස සහ සැකකාරියන්ට එරෙහි සාක්කි ලෙස භාවිතා කිරීමට මින් ඉදිරියේදී ක්‍රියා නොකරන ලෙස එම නියෝගයේ දැක්වෙයි.

(අද)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment