බෙදුම්වාදී සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර ශූරීන්ට වචනයක්

බෙදුම්වාදී සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර ශූරීන්ට වචනයක්

 

අද කැටලෝනියාවේ ඇති වී ඇත්තේ අවුල් ජාලයකි. කැටලෝනියානු ජනාධිපති කාලස් පුජිමොන්ට් පසුගිය සතියේ කැටලෝනියානු ස්වෛරී රාජ්‍ය ප්‍රකාශයට පත් කළ අතර එසැණින්ම එය යළි අත්හිටුවා ලූයේය. ඒ, ස්පාඤ්ඤය සමඟ සාකච්චාමය විසඳුමකට යන බලාපොරොත්තුවෙනි. දැන් එතැන එකම අවුලකි. කුර්දිස්ථානයේ ඊටත් එහා යන ගැටුමකි. කුර්දිස්ථාන් ගැටුම බිහිකළේ සදාම් හුසේන් විසින් එහි 8,000ක ජනතාවක් ඝාතනය කිරීමෙන් අනතුරුවය. ඒ 1988දීය. එතැනින් යටපත් වී තිබුණු ගැටුම යළි ඉඩ ලද සැණින් ඇවිළිණි. පසුගිය සමයේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ වැදුණු කුර්දිස්ථානයේ අද සටන් වදින්නේ පෙශ්මගා සටන් කාමීන් සහ ඉරාක හමුදා ය. එහෙත් ඓතිහාසිකව සහ විෂය මූලිකව සලකා බලන කල මේ කැටලෝනියාවට සහ කුර්දිස්ථානයට නොමැති තරම් විභවයක් බෙදී වෙන්වී යාම සඳහා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරට තිබේ. දැනට අළු යට ගිනි පුපුරු ලෙසින් පසුවන්නේ එම බෙදී වෙන් වීමේ ඉල්ලීමයි. 

ඊට එරෙහිව තීරණාත්මක සාධකය ලෙසින් පවතින්නේ ඉන්දියාවයි. අමරසේකරලා ඇතුළු හතර වරිගය වන්දනාමාන කරන ඊනියා 2009 විජයග්‍රහණය කළමනාකරණය කළේද ඉන්දියාව විසිනි. එහෙත් උතුරු නැගෙනහිර බෙදී වෙන්වීමට ඉන්දියාව තරයේ එරෙහි වන්නේ ඒ හරහා තමිල්නාඩුව තමන්ට අහිමි වීමේ අනතුරක් පවතින නිසාය. එසේ නොමැතිව ලංකාවේ උතුරු නැගෙනහිර බෙදී වෙන් නොවී පවතින්නේ අමරසේකරලාගේ වියපත් කටහඬට බියෙන් නොවේ. 

එවන් වූ මොහොතක රට දෙකඩ කරනවා වෙනුවට යම් සාධාරණ බලය බෙදීමක් මඟින් ගැටළුව සමථයකට පත් කරගැනීම සඳහා වත්මන් රජය උත්සාහ ගනිමින් සිටී. සැබැවින්ම උතුරු නැගෙනහිර ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීම මනුශ්‍යත්වය අගයන කාගේත් වගකීම විය යුතුය. එය වත්මන් රජයේ උත්සාහය තුළ කොතෙක් සාක්ශාත් වේදැයි කීමට අප නොදන්නා නමුත් බලය බෙදා හැරීමේ විසඳුමක් වෙනුවෙන් වන ක්‍රියාකාරීත්වය අගය කළ යුතුය. 

එහෙත් මේ මොහොතේ මහින්ද රාජපක්ෂ සහ ඔහුට න්‍යාය සම්පාදනය කරන ඊනියා ජාතික සංවිධාන වල උත්සාහය වන්නේ 'දෙමළුන්ට කිසිවක් දීමට අවශ්‍යත් නැත. දෙන්නේත් නැත' යන මතවාදය පැතිරවීමටය. ඒ හරහා බෙදී වෙන්වීම හැර තමන්ට අන් විසඳුමක් නැතැයි යන්න දෙමළ අන්තවාදී සංවිධාන වලට ඒත්තු ගැන්වීමටය. ඒ හරහා බෙදුම්වාදය අවුළුවාලීමටය. රට යළිත් ගිනි තැබීමටය. සරලව කිවහොත් අමරසේකරලා මේ ඉල්ලන්නේ 'ලේ' ය. 

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වතුර කළයේ හැකිතාක් කිඹුලන් මවමින් පොදු ජනතාව බියපත් කරන්නට දඟලන  අමරසේකරලා නම් තම ජීවිත කාලයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා අවසන් කර ඇත. ඔවුන් අද මේ විසකුරු මතවාද වපුරා හෙට පරලොව යන්නට නියමිත අතර විඳවන්නට වන්නේ ඊළඟ පරම්පරාවටය. ඒත් අමරසේකරගේ ඊළඟ පරම්පරාවට නොවේ. ජාති(ක)වාදය ජාතිආලය යන යන තැන උතුරුවන අමරසේකරගේ දරු මුණුපුරන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ඒ ජාතිආලයේ ගැඹුර එහෙමය. විඳවන්නට වන්නේ මේ රටේ ජීවත්වන මතු පරම්පරාවටය. 

ගු. අමරසේකරටම හරියන නඩයකුත් සිටී. එයින් ගෙවිඳු කුමාරතුංග ප්‍රධානය. පෙර නෑකම කුමක් වුවත් දැන් නම් ගෙවිඳු යනු කුමාරතුංග මුනිදාසයන්ගේ මී මුත්තාය. මන්දයත් සිය විශිෂ්ට චින්තනයත් සමඟ මුනිදාසයන් ජීවත්වූයේ 21 වන ශතවර්ෂයේ නිසාය. එහෙත් ගෙවිඳු කුමාරතුංග ඒ පරපුරේ උරුමය ගෙනියනවා වෙනුවට අද ජීවත්වන්නේ 16 වන ශතවර්ෂයේ පසුගාමී චින්තනය සමඟ නිසාය. 

සාහිත්‍යධරයෙක් වශයෙන් ගුණදාස අමරසේකර මියගියේ 1970 ගණන්වල අබුද්දස්ස යුගයක් ලිවීමත් සමඟය. දැන් මේ දඟලන්නේ ඔහුගේ අවතාරය ය. එහෙයින් රටේ ජනතාවගේ මූලිකම ප්‍රශ්නයට යම් පමණක් හෝ විසඳුමක්, විසඳුම් ප්‍රවේශයක් ලබා දීමේ උත්සාහයට බාල්දි දමා ඩ්‍රැකියුලාවන් මෙන් ලේ රසට කෙළ පෙරනවා වෙනුවට දැන් අමරසේකරයන්ට ඇත්තේ යන්නට ම යන්නටය. කෙටියෙන් කියන්නේ නම් අමරසේකර ශූරීනි, "ඇති හිටියා!" ය. 


- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment