ගම්වදින වන අලි නිසා නිවෙස් අතහැර යන සූරියවැව බුරුතන්කන්දේ ජනතාව

ගම්වදින වන අලි නිසා නිවෙස් අතහැර යන සූරියවැව බුරුතන්කන්දේ ජනතාව
තම ප්‍රදේශයට වසර ගණනාවක සිට බලපා ඇති මෙම ගැටලුව විසඳීමට විවිධ අවස්ථාවන්හි බලධාරීන් හා දේශපාලනඥයින් පොරොන්දු ලබා දුන්නද එය හුදු රැවටීමකට පමණක් සීමා වී ඇති බවත් මේ වනතෙක් තම ප්‍රදේශයට බලපා ඇති වන අලි ගැටලුව විසඳීමට කිසිවෙකු කටයුතු කර නොමැති බවත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.
 
සුරියවැව, අන්දරවැව, එලල්ල, හම්බන්තොට යන ප්‍රදේශ තුල සිදුකරන මහාපරිමාණ වන සංහාරය නිසා එම ප්‍රදේශවල සිටින වන අලින් නිරන්තරයෙන් ගම් වැදීම හේතුවෙන් ජනතාව දැඩි අපහසු තාවයන්ට පත්ව තෙබෙන බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙයි.
 
සූරියවැව බුරුතන්කන්ද ප්‍රදේශයේදී පසුගිය සැප්තැම්බර් 22 දින  වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මිය ගිය අතර එහිදී ප්‍රදේශයේ ජනතාව එක්ව ප්‍රදේශයට වනඅලින් සිදුකරන ජීවිත හානි හා දේපල හානි වලක්වා ගැනීමට ශක්තිමත් විදුලි වැටක් ලබාදෙන ලෙස ඉල්ලමින් මාර්ගය හරස් කරමින් දැඩි විරෝධතාවයක්ද පවත්වන ලදී.
 
මෙහිදී පොලිසියේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රදේශයේ ජනතාව සමග 22 දින සවස සාකච්ඡාවක් ලබාදුන් අතර එහිදී ප්‍රදේශයේ කැඩී ඇති අලි වැට නැවත සකස් කර දීම මෙන්ම අලිවැට නොමැති ප්‍රදේශයන් තුල අලිවැට සකස්කර දෙන තෙක් වනජීවී නිලධාරීන් ප්‍රදේශයේ මුර සංචාරයේ යොදවන බවට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා පොරොන්දු වී තිබේ.
 
කෙසේ නමුත් එම පොරොන්දු හුදු වචන මාත්‍රයකට පමණක් සීමා කරමින් මේ වනවිටත් එම ප්‍රදේශයට අවශ්‍ය කිසිදු විසඳුමක් බලධාරීන් විසින් ලබා නොදීම නිසා පසුගිය 09 වනදා රාත්‍රී ප්‍රදේශයේ නිවාස තුනක් වන අලින් පහරදී විනාශ කර තිබේ. එමෙන්ම ප්‍රදේශයේ ඇති වගාබිම්ද වන අලින් විසින් විනාශකළ බවයි බුරුතන්කන්ද ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.
 
සෑම දිනකදීම වන අලින් රංචු ලෙස ප්‍රදේශයට කඩා වදින බවත් මේ නිසා තම වගාබිම්, නිවාස දිනෙන් දින විනාශ කරන බවත් මේ හේතුවෙන් තම ජීවිත අවදානම වැඩිවී ඇති බවත් ප්‍රදේශයේ ජනතාව කියා සිටිනවා.
 
ham thiliniවන අලි පහරදීමෙන් තම නිවාස අහිමි වූ සූරියවැව බුරුතන්කන්දේ ජී.එල්.ඒ. තිලිනි මදුෂිකා
 
'මම ක්ලිනික් එකට යන්න ඕන නිසා වේලාසනින් මහත්තයයි දරු දෙන්නයි එක්ක රෑ 7.30 විතර මගේ අම්මලාගේ ගෙදර ගියා. ඒ වෙලාවේ තමයි අලි රංචුවක් ඇවිල්ලා අපේ ගෙදර කඩලා ගිහින් තියෙන්නේ. අපි හිටිය නම් අපි ජීවිතේ බේරගන්න වෙන්නෙ නෑ. අපිට කාගේවත් පිහිටක් නෑ. මහත්තයා කුළී වැඩ කරලා තමයි අපි ජිවත් කරවන්නේ. අලි නිසා අපි හිටපු තැනත් අපිට අහිමි උනා.'
 
ham siriyawathi'හැමදාම අපේ ගමට අලි එනවා. අපිට දැන් ජීවත්වෙන විදියක් නෑ. අපේ දරුවෝ, ගොවිතැන් ආරක්ෂා කරගන්න බැරි තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේවට උද්ගෝෂණ කලාම අපිට බොරු පොරොන්දු දීලා අපිව රවටනවා. පස්සේ ඒ අයට නඩු දානවා. හැම පැත්තෙන්ම තැලෙන්නේ අපි වගේ අසරණ මිනිස්සු විතරයි. අපේ ප්‍රශ්න විසඳන්න කවුරුවත් මැදිහත් වෙන්නෙ නෑ.'  කේ. සිරියාවතී මහත්මිය එසේ පැවසුවාය.
 
'අපේ ගමේ 08 වැනිදා රෑ ගෙවල් තුනක් අලි කැඩුවා.අපේ වගාවන් විනාශ කලා. කවුරුවත් අපි ගැන හොයලා බලන්නේ නෑ. ගමේ හිටපු අම්මා කෙනෙක් අලියා ගහලා මැරුණා. එ්කට උද්ගෝෂණ කල අය පොලිසියෙන් අරන් ගහින් නඩු දාලා. දැන් උසාවි යනවා. අපි බොහොම අමාරුවෙන් හම්බකරගන්න දේවල් අලි ඇවිල්ලා එක රැයින් විනාශ කරනවා'
       
පසුගිය වසර 15 ක පමණ කාලයක සිට සිට මේ දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලින් ඇතුළු වන සතුන් වෙසෙන ප්‍රදේශයන් එළි කරමින් මහාපරිමාණ සංවර්ධන කටයුතු සිදුකිරීම නිසා වන සතුන්ගේ වාසභූමි  ඔහුන්ට අහිමි වීම තුල අලි මිනිස් ගැටුම වර්ධනය වූවා සේම ඉතිරිව තිබෙන කැලෑ ප්‍රදේශයන් ද මේ ආකාරයෙන් එළි කිරීම නිසා අලි මිනිස් ගැටුම තවත් උග්‍ර වෙමින් පවතී.
 
කැළෑ විනාශ කිරීම නිසා වන අලින්ගේ වාසස්ථාන අහිමි වීම තුල එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළදී පමණක් වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 18 ක් පමණ වෙඩි තැබීම, විදුලි සැර යෙදීම හෝ හක්කපටස් නිසා හෝ පරිසරයට අහිමි වී තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප්‍රහාරයට ලක්ව මිනිසුන් 9 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින බව හම්බන්තොට වනජීවී කාර්යාලය පෙන්වා දෙයි.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
ham ali 1
ham ali 2
ham ali 3
ham ali 4
ham ali 5
ham ali 6
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment