අපි නීතියටයි වැඩ කළේ කියමින් ඇවන්ගාඩ් නාවික හමුදාවට එරෙහිව නඩු මගට


 නිත්‍යානුකූල ආකාරයෙන් ගිවිසුම් අත්සන් කර මුහුදු ආරක්‍ෂක සේවා සිදුකළ සිය සමාගමට අයත් නෞකාව නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම නිසා සිදු වූ රුපියල් බිලියන දෙකයි මිලියන හාරසියයක අලාභය ආරක්‍ෂක හමුදා මාණ්‌ඩලික ප්‍රධානි අද්මිරාල් සී. සී. විඡේගුණරත්න මහතා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්‌ සමාගම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.


 එකී නෞකාව ගාලු වරායේ ජැටියේ නවතා තිබියදී
2015.11.13 වැනිදා නාවික හමුදා මූලස්‌ථානයෙන් ලද නියෝගයක්‌ අනුව බව පවසා නාවික හමුදා නිලධාරීන් කණ්‌ඩායක්‌ විසින් ගිනි අවි පතරොම් හා අනෙකුත් උපකරණ සමඟම නීති විරෝධී අන්දමින් හා රටේ පවත්නා නීතියට අනුකූල නොවන ආකාරයෙන් පවරා ගැනීම නිසා එවැනි අලාභයක්‌ සිදුවී ඇති බව නීතිඥ සනත් විඡේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ එම නඩුව මගින් පෙන්වා දී තිබිණි.

 එබැවින් සිය නඩුව විභාගයට ගෙන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි අද්මිරාල් සී. සී. විඡේගුණරත්න , අද්මිරාල් ටී. ඡේ. එල්. සින්නයියා, නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් එස්‌. එස්‌. රණසිංහ යන වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන ලෙස ද පෙත්සම්කාර සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

 එකී අලාභය ගෙවන ලෙස සිය සමාගම විසින් 2017 සැප්තැම්බර් 29 වැනිදා එන්තරවාසියක්‌ මගින් වගඋත්තරකරුවන්ට දැනුම් දුන් නමුත් මේ දක්‌වා පිළිතුරක්‌ හෝ නොලැබුණ බව ද පෙත්සම්කාර සමාගම වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඒ. ඡේ. ඒ. අබේනායක
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment