මේ අපාය සැබවින්ම තිබුණේ බටහිර බෙංගාලයේ බංකූරා දිස්ත්‍රික්කයේ ය. ඇතින්න සිය පැටවා ද සමග ගම හරහා යමින් සිටි අතර, ගමේ මිනිස්සු ඒ දැක කුපිත වී උණු වී වැගිරෙන තාර බෝලවලින් මවට ද පැටවා ද දමා ගැසූහ.
මිනිස් සතා ගැන දන්නා නමුත් බඩ සාය සහ නියං සාය සමග දරු දුක කැළති කැළතී නැගෙන්නට වූ හෙයින් ඇතිනි මව කෑම සොයමින් යමින් සිටියාය. මහ විපත සිදුවුණේ එවිට ය. ඇගේ කන්පත්, කුරිරු මිනිසුන්ගේ කෑ ගෑම් සහ චණ්ඩාල හිනා හඬ නෑසෙනු වස් වේදනාවෙන්ම වකුටු ගැසුණේය. බිමට යොමු ඒ කන්පත් අතරින් පවා, හැකි පමණින් තමන් පසුපස එන තමන්ගේ පුංචි ප්‍රාණයේ විලාපය ද ඉකි බිඳුම ද ඇයට ඇසුණේය.
පැටවා තමන් තරම් සවිමත් නැති බව ඇය දන්නීය. ඒ බව මනුසතා ද දන්නේය. එනිසා ගිනිගත් තාර බෝලවලින් මනුසතා දමා ගසද්දී ඒවා වැඩි වැඩියෙන් මවගේ නොව පැටවාගේ සිනිදු සමේ ඇළුණේය. ඇත් පාදවලට දමා ගසන ගිනි බෝලවලින් මවගේ නොව පැටවාගේ සිඟිති දෙපා වැඩි වැඩියෙන් පිච්චුණේය. වැඩි වැඩියෙන් ගිනි ගත්තේය. අනේ පැටවා කෑ ගෑවේය. මර ලතෝනි දුන්නේය. පණ බයෙන් වෙව්ළුවේය. සිය එකම අරමුණ අම්මා කර ගත් පැටවා, ඇය පසුපස, ගිනි ගන්නා දෙපය අද්දමින්, සම පසාරු කරගෙන මාංශය දවනා තාර බෝල දරාගනිමින් කෙසේ හෝ දුවන්නට වන්නේය. අවසන යන්තමින් පණ බේරාගන්නේය.
ආසියාවේ වන අලි සහ ඇත් ගහණයෙන් සියයට හැත්තෑවක්ම යන්තම් පණ ගැටගහගෙන ජීවත් වන්නේ ඉන්දියාවේ ය. ඒ ගැන පම්පෝරි බොහෝ ය. අනෙක් අතට, ඇසෑම්, ඔඩිස්සා, චටිස්ගාර්, තමිල්නාඩු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත මෙන්ම මේ සිද්ධිය වාර්තා වුණු බටහිර බෙංගාලයේ ද අලි මිනිස් ගැටුම, ලංකාවේ තරමටම උග්‍ර ය. ඔවුන්ගේ වගාබිම් පාළු කරමින්, නිවාස කුඩු පට්ටම් කරමින් නිබඳවම වන අලි ප්‍රහාර එල්ල වේ. ඔවුහු වනඅලි දුටු විට එළව එළවා පහර දෙති. එහිදී ඔවුන් හැසිරෙන්නේ මිනිසුන් ලෙස නම් නොවේ.
අලිමංකඩ වනසා දමා ගම්මාන හැදුවෝ කවරහුද? යන්න-එන්නට තැනක් නැති අය නිසා ඉන්න-හිටින්නට තැනක් නැතිවූ අය ගැන මනුසතා සංවේදී වන්නේ කවදාටද?
ඒ දවස එන තාක් කල්, අපාය මෙතැන ය! මේ දැන් ය.!!
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
0 comments :
Post a Comment