හෙද සේවාවේ සිහිනය සුව ඇමැති ඉටු කරයි

හෙද සේවාවේ සිහිනය සුව ඇමැති ඉටු කරයි
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් මගින් රෝගී සත්කාර සේවාවන් ඉටු කිරීමේදී ප්‍රමාණවත් හෙද නිලධාරීන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුකොට ගෙන කාර්යක්ෂම සේවාවක් ලබාදීම ගැටලුවක් වී තිබේ. විශේෂයෙන්ම භෞතිකමය වශයෙන් සියලුම පහසුකම් රජය මගින් ලබාදුන්න ද දිවයින පුරා පිහිටි හෙද පුහුණු පාසල්වලින් වාර්ෂිකව සෞඛ්‍ය සේවාවට එකතුවන හෙද නිලධාරින් සංඛ්‍යාව වැඩි කරලීම අත්‍යාවශ්‍ය වී ඇත. එය හදුනාගත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දිවයින පුරා පිහිටි හෙද විද්‍යාල සංවර්ධනය කිරීමට ද පියවර ගෙන ඇත. ගාල්ල, අනුරාධපුරය, මහනුවර සහ කලුතර හෙද විද්‍යාල ඒ අනුව සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.
 
දකුණු කොරියාවේ ඉන්ඡේ විශ්ව විද්‍යාල මගින් ශ්‍රි ලංකාවේ හෙද හෙදියන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු පිරිසක් ඉන්ඡේ විශ්ව විද්‍යාලයේ කළ සංචාරයකින් පසු මෙම විශේෂ හෙද පීඨය ස්ථාපිත කිරිමට මුලික අඩිතාලම වැටුනි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා 2002 එක්සත් ජාතික පක්ෂ රජය සමයේ දී මේ පිළිබදව පළමු වරට අදහස් පළ කරන ලදි. එහිදී හෙද සේවාවට  ද වෘත්තීයමය තත්ත්වයක් ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා යෝජනා කරන ලදි. ඒ අනුව මෙම හෙද පීඨය ආරම්භ කරනු ලබන්නේ කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධවය.
 
මෙම හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. හෙද පීඨය සදහා වැය කරන මුදල රුපියල් බිලියන 8 කි. එකවර හෙද හෙදියන් 2000 ක් පුහුණු කිරීමට නියමිතය. එම හෙද හෙදියන් සදහා නේවාසිකාර ඉදිකරනු ලබන්නේ නැගෙනහිර කොළඹ මුලික රෝහල් භූමියේයි. නේවාසිකාගාර ඉදිකිරීම සදහා රුපියල් බිලියන 6.5 ක මුදලක් වැය කරයි. එහි ක්‍රීඩා පහසුකම්, පිහිණුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන ද ඇතුලත් වෙයි. මෙම හෙද පීඨයේ අධ්‍යාපනය ලබන හෙද හෙදියන් සදහා බ්‍රිතාන්‍ය යේ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවක් ද ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇත. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය හෙද හෙදියන් බිහි කිරීමෙන් අනතුරුව අතිරික්තය විදේශීය හෙද සේවාව සදහා යොමු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙම වැඩපිළීවෙල පිළීබදව වසර 10 ක පමණ කාලයක් සාකච්ඡා කළ ද මෙතෙක් එය ක්‍රියාවට නැංවීමට නොහැකි විය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු හෙද සේවාව සදහා අවශ්‍ය  සියලුම පහසුකම් ලබාදීමට පියවර ගනු ලැබීය. මානව සම්පත් සංවර්ධනයේ දී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය මෙන්ම හෙද සේවාව සදහා ද විශේෂ අවධානයක් යොමු කර ඇත. 2015 අවසන් වන විට හෙද හෙදියන් 31535 ක් සෞඛ්‍ය සේවාවේ නිරතව සිටියි. මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් 258 ක් සේවයේ නිරතව සිටිති. මහජන සෞඛ්‍ය හෙද සේවාව වසර 20 කට ආසන්න කාලයක් සෞඛ්‍ය සේවාව තුල ක්‍රියාත්මක නොවූ අතර එය ක්‍රියාත්මක කිරීම ද ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.
 
දැනට පවතින පුරප්පාඩු පිරවීම සදහා හෙද හෙදියන් 10,000 ක් වත් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ඒ අනුව හෙද සේවාව සදහා මෙතෙක් සියයට 95 ක් බදවා ගනු ලබන්නේ කාන්තාවන් වෙයි. සියයට 5 ක් පිරිමින් වෙයි. එය වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පිරිමින් බදවා ගැනීම වැඩි කිරිම සදහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට ද කටයුතු යොදා ඇත. හෙට දින (20) මුල් ගල් තැබෙන නව හෙද පීඨය වසර 2020 වන විට ඉදිකර අවසන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.
 
තව ද රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම සිදු කරනු ලැබුයේ බලයට පත්වීමෙන් පසුවය. ඊට සාපේක්ෂව හෙද සේවාවේ අතිකාල දීමනා වැඩි කිරිමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ලැබීය. මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවට ගණනාවකින් පසු අතිකාල දීමනා වැඩි කළ අතර, ඒ සදහා වැය කළ මුදල රුපියල් බිලියන 2.7 කි. එමගින් හෙද සේවාවේ නිරත 30,000 කට අධික සේවක පිරිසකට විශාල සහනයක් ලැබී ඇත. මෙම හෙද පීඨය ස්ථාපිත කිරිම පිළිබදව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරන්නේ හෙද සේවාවේ සිහිනය ඉටු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති බවයි. හෙද උපාධිය, හෙද සේවාව වෘත්තීයමය තත්ත්වයකට පත් කිරීමට ඉතා වැදගත් බව ඔහු සදහන් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment