රාහුල් ගාන්ධි කටකලියාව අතට ගනී; පක්ෂ නායකත්වයට පත්වෙයි.

රාහුල් ගාන්ධි කටකලියාව අතට ගනී; පක්ෂ නායකත්වයට පත්වෙයි.

ඉන්දියාවේ බලවත්ම දේශපාලන පෙළපතේ උරුමක්කාරයා වන රාහුල් ගාන්ධි, හෙට දිනයේ (13) රටේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ සභාපතිවරයා හෙවත් නායකයා වශයෙන් දිවුරුම් දීමට නියමිත ය. ඒ, එම ධුරයේ දැනට සිටින ඔහුගේ මව වන සෝනියා ගාන්ධි වෙනුවට ය. මෙම පත්කර ගැනීම, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේදී මුහුණපාන ප්‍රබලම දේශපාලන අභියෝගය බවට පත්වනු ඇත.

මෝදි විසින් දශකයකටත් අධික කාලයක් මුළුල්ලේ බලය පතුරුවාගෙන තිබූ ගුජරාට් ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමට නියමිත ව තිබෙන්නේ දෙසැම්බර් 18 වැනිදා ය. මෙම ඡන්දය අදියර 2කින් පැවැත්වෙන අතර පළමු අදියරේ ඡන්ද විමසීම දෙසැම්බර් 9 වැනිදා පැවැත්විණි. දෙවන අදියර දෙසැම්බර් 14 වැනිදා පැවත්වීමට නියමිත ය. මේ අනුව ඊට පෙර කොංග්‍රස් පක්ෂයට නව නායකයෙක් පත්වීම, එම ඡන්දයේ ප්‍රතිඵලවලට පවා තීරණාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් විය හැකිය. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ගුජරාට් ප්‍රාන්තය තුළ මෝදිගේ පක්ෂය වන හින්දු ජාතිවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) පසුවන්නේ දුෂ්කර තත්වයක ය. කලෙක BJP බල කඳවුරක් වශයෙන් සැලකුණු මෙම ගුජරාට් ප්‍රාන්තය තුළ මෝදිගේ ජනප්‍රියත්වය මේ වන විට සීඝ්‍රයෙන් හීන වෙමින් යයි.

අනෙක් අතට යම් හෙයකින් මෝදි සුපුරුදු පරිදි ගුජරාටය ජයගතහොත්, කොංග්‍රසයේ කටකලියාව අතට ගත් පමණින් ජනමතය වෙනස් කළ නොහැකි බවට වන ඉන්දීය දේශපාලනයේ සදාතනික පාඩම ද ඔහුට ඉගෙන ගන්නට සිදුවනවා ඇත.

“කුමාරයා”
1970 වසරේ උපන් රාහුල් ගාන්ධි හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ පුත්‍රයා ය. ඔහුගේ මිත්තණිය ඉන්දියාවේ ප්‍රථම නායිකාව වන ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි වන අතර ඔහුගේ සීයා වන ජවහර්ලාල් නේරු, නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ය. ඉන්දිරා මෙන්ම රජීව් යන දෙදෙනාම, අගමැති පදවියේ සිටියදීම ඝාතනයට ලක්වූහ.

2004 වසරේ ඉන්දීය ලෝක් සභාවට තේරී පත්වීම මගින් රාහුල් ගාන්ධි දේශපාලනයට අවතීර්ණ වූයේ උත්තර් ප්‍රදේශ් වල අමෙති ප්‍රදේශයෙනි. මෙම ආසනය ඔහුගේ පියා මෙන්ම සීයාගේ ද ආසනය වෙයි. පක්ෂය තුළ නායකයෙකු වශයෙන් මදින් මද ඉදිරියට ආ රාහුල් 2013 වසරේදී කොංග්‍රස් පක්ෂයේ උප නායකයා බවට පත්විය. 2014 ජාතික මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂයේ ‘චරිතය’ බවට පත්වී සිටියත් රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වය සඳහා ඉක්මන් වන බවක් මෙතෙක් පෙනුණේ නැත. කෙසේ නමුත් 2014 වසරේ නරේන්ද්‍ර මෝදි ලද විශිෂ්ට ජයග්‍රහණය හමුවේ කොංග්‍රසය ලත් පරාජය බොහෝ දේශපාලන විචාරකයන් විසින් හැඳින්වූයේ ‘කොංග්‍රසයට යන එන මං නැතිවීමක්’ ලෙස ය. භාරතීය ජනතා පක්ෂය එවර ජාතික මැතිවරණයේදී ආසන 282 ක් ලබාගන්නා විට රාහුල් ගාන්ධිලාගේ කොංග්‍රසයට ලබාගත හැකි වූයේ ආසන 44ක් පමණි. මෝදි එම මැතිවරණයේදී වේදිකාවල රාහුල් ව උපහාසාත්මක ලෙස හැඳින්වූයේ ‘කුමාරයා’ යන අරුත දෙන ‘ෂෂාදා’ යන උර්දු යෙදුමෙනි. රිදී හැන්දක් මුවේ රුවාගෙන උපන්, සැබෑ ඉන්දියාව නාඳුනන අයෙක් ලෙස ඔහුව හඳුන්වා දෙනු ලැබීය.

මෝදි බයවෙලාද?
බලයට පත්වීමෙන් වසර 3කට පසුව මෝදි තවමත් ඉන්දියාවේ සිටින ජනප්‍රියම සහ බලවත්ම දේශපාලනඥයා ය. නමුත් මෑතකදී සිදුවූ ආර්ථික වර්ධනයේ පසුබෑම සමගින් මෝදිගේ ජනප්‍රියත්වය සැලකිය යුතු අන්දමින් පහළ යමින් තිබේ. පසුගිය කාර්තුවේ ඉන්දියාව වාර්තා කළේ මේ තුන් අවුරුද්ද තුළ අවම ආර්ථික වර්ධන වේගය වන 6.3% කි.

ආර්ථික විශේෂඥයෝ මෝදිගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති දෙකක් මේ පසුබෑම සඳහා වගකිව යුතු බව කියති. එකක් නම්, අත්පිට මුදල් මත පදනම් වූ ඉන්දීය ආර්ථිකයට හදිසියේ එල්ල කළ අත්බෝම්බයක් බඳු වූ ඉහළ අගයෙන් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටු තහනම් කිරීමේ ප්‍රතිපත්තියයි. මෙමගින් රටේ කළු සල්ලි උවදුර සෑහෙන ප්‍රමාණයකින් අඩු වීමේ ගෞරවය මෝදිට හිමි වුවත්, එයින් සාමාන්‍ය ජන ජීවිතවල ඇති වූ වියවුල සුළුපටු නොවේ. ඉන් අනතුරුව මේ වසර මුලදී ඔහු නව ජාතික බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේය. එමගින් අපේක්ෂා කෙරුණේ ව්‍යාපාර අඩාල කරන බව කියූ ප්‍රාදේශීය බදු ක්‍රමය අහෝසි කිරීමයි. මෙම නව ජාතික භාණ්ඩ හා සේවා බද්ද හේතුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාම තවදුරටත් අසීරු වී යැයි ඇතැම් විචාරකයෝ කියති. ගතවූ කාලයේ එම නව බදු ක්‍රමයට අනුගත වීම, විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර හිමියන්ට අසීරු වූ බවටත්, නව ක්‍රමය වඩා සංකීර්ණ වූ බවටත් විවේචන තිබේ.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෝදි මේ වන විට නියත වශයෙන්ම පසුවන්නේ ආතතියකට හසු ව යැයි ඉන්දියාවේ ප්‍රකට මාධ්‍යවේදියෙක් වන ශේකර් ගුප්තා වැනි අය කියති. ඔහු සීඑන්එන් පුවත්සේවයට පවසා තිබුණේ “පළමුවැනි වතාවට මෝදි ප්‍රශ්නවලට මුහුණ දෙනවා..” යනුවෙනි.

මේ තත්වය තුළ ගාන්ධිලාගේ කොංග්‍රසය, මෝදිගේ ගුජරාට් බලකඳවුර තුළ ගතවූ කාලයේදී විශේෂ අවධානයකින් යුතුව මැතිවරණ කටයුතුවල නියැළෙනු දක්නට ලැබුණේය. එම ප්‍රාන්තයේ බලවත් යැයි කියන කුල නායකයන් සමග සන්ධානගත වන්නට ද කොංග්‍රසයට මේ වන විට හැකි වී තිබේ. කොංග්‍රසය මුස්ලිම් හිතවාදී, හින්දු විරෝධී පක්ෂයක් ය යන මතය බිඳීම සඳහා රාහුල් ගාන්ධි, ගුජරාටයේ කෝවිල්වල වන්දනාවේ යන ආකාරය පවා පසුගිය සතිවල ඉන්දීය මාධ්‍යවලින් දැකගත හැකි විය.

මේ අතර දිල්ලියේ දේශපාලන විශේෂඥයන් පවසන්නේ කොංග්‍රසයට ඉන්දීය දේශපාලනය තුළ ‘වැඩකරන පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ පක්ෂය’ බවට පත්වීම සඳහා විශාල විභවයක් පවතින බවයි. මෙම විභවය අතීතයේ පටන් යම් තරමකින් පැවති එකක් වන නමුත්, කොංග්‍රසය මේ දක්වා කිසි විටෙක එහි වාසිය පූර්ණ වශයෙන් ගැනීම කෙරෙහි අවධානය යොමු නොකළ බව ද ඔවුහු කියති.

මේ අනුව මීළඟ වසර හෝ වසර දෙක සම්බන්ධයෙන් රාහුල්ගේ උර මත පැටවෙන විශාලතම වගකීම වනු ඇත්තේ පක්ෂයේ අනන්‍යතාවය ගොඩ නංවා ගැනීමයි. එය සාර්ථකව කිරීමට ඔහු සමත් වුවහොත්, ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් බොහෝ කලෙක පටන් කියූ අනාවැකියක් සැබෑ වෙමින්, රාහුල් ගාන්ධි ඉන්දියාවේ මීළඟ නායකයා බවට පත්වීමට පවා ඉඩ තිබේ.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment