මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ටෙන්ඩර් මගඩියක්

මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ටෙන්ඩර් මගඩියක්

 

මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2012 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොරියානු සංචාරය තුළ දී ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුවය. මේ සඳහා කොරියානු ආනයන හා අපනයන බැංකුවෙන් ඩොලර් මිලියන 33.536ක ණයක් ලබා දෙන අතර එහි පොළී අනුපාතය 0.1%කි. ගාලු දිස්ත්‍රික්කයේ මොනරොවත්ත, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව, යාපනය දිස්ත්‍රික්කයේ කීරමලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මීගස්වැව යන ස්ථානවල මෙම ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන ඉදිකිරීමට යෝජිතව ඇත. එහෙත්;

1. ලෝකයේ දියුණු රටවල් විසින් බැහැර කරන ලද 'සනීපාරක්ෂක බිම් පිරවුම්' (sanitary land fills) ක්‍රමවේදය යටතේ මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමට නියමිත බැවින් ණය බරකුත් සමග මෙවැනි යල් පැන ගිය මධ්‍යස්ථාන අප රටට අවශ්‍යද යන ගැටළුව පැන නඟී.

2. ටෙන්ඩරයේ කොන්දේසිවලට අනුව කොන්ත්‍රාත්කාර සමාගම අනිවාර්යයෙන් ම කොරියානු සමාගමක් විය යුතුය. උප කොන්ත්‍රාත්කරුවන් ද බොහෝ විට කොරියානු සමාගම් විය හැක. භාණ්ඩ ආනයනය කළ යුත්තේ ද කොරියාවෙන්ය. එහෙයින් ණය මුදලෙන් විශාල ප්‍රමාණයක් ආපසු යැවෙන්නේ කොරියාවට බැවින් මින් ශ්‍රී ලංකාවට වාසියක් ඇත්ද යන්න සලකා බැලිය යුතුය.

3. මෙහි අසාධාරණම කොන්දේසිය වන්නේ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් සඳහා කොරියානු උපදේශක සමාගමක උපදෙස් ලබා ගැනීමය. උපදේශන සේවා සඳහා වැය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 9කි. මුළු ව්‍යාපෘතිය සඳහා වන මුදල ඩොලර් මිලියන 33ක් බැවින් මෙය මුළු මුදලින් 1/4ක පමණ ප්‍රමාණයකි. එහෙත් ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේද අනුව නම් උපදේශන සමාගමකට උපරිම අයකළ හැක්කේ 10%ක ප්‍රතිශතයකි. එහෙයින් මෙම වැඩිපුර මුදල කා සඳහා ද යන්න ගැටළුවකි.

4. 2017.11.30 දින ටෙන්ඩරය විවෘත කර ඇති අතර සමාගම් 4ක් ලංසු ඉදිරිපත් කර තිබිණි. එහෙත් ඉන් උපදේශන සමාගමට හිතවත් කොන්ත්‍රාත්කරුවකුට කොන්ත්‍රාතුව ලබාදීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

5. ටෙන්ඩර් ලියවිලි සහ ප්‍රමාණපත්‍ර ජාත්‍යන්තර ප්‍රමිතියට ගැලපෙන පරිදි සකස් කර නැත. සැලසුම් කර ඇති පිරිවිතරයන් ප්‍රමාණපත්‍රයට ගැලපෙන්නේ ද නැත. සම්පූර්ණ පද්ධතියම එක් කොන්ත්‍රාත්කරුවකුට ගැලපෙන පරිදි සකස් කර ඇති අතර අනෙක් කොන්ත්‍රාත්කරුවන්ට ඉල්ලා ඇති උපකරණවලට ගැලපෙන ලෙස සැපයුම් කළ නොහැක. ව්‍යාපෘතියෙන් ලබාගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල පැහැදිලිව සඳහන් කර නැති අතර යන්ත්‍රාගාරය ද දුර්වලය. යොදාගෙන ඇත්තේ ද යල්පැනගිය තාක්ෂණයකි.

ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශයකින් මෙසේ අධික ණයබරක් සමඟ යල්පැනගිය, පරිසර හිතකාමී නොවන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් රටේ ජනතාව කුමක් කළ යුතුද යන ප්‍රශ්නය මතුවන බවත් එහෙයින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැඳවා ඇති මෙම ටෙන්ඩරය වහාම අවලංගු කරන ලෙසත් මේ පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයට බලකර සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment