මංජරී, තාත්තාගෙන් අහන්න පාට වෙනස් කරලා අම්මගේ උපන්දිනේට තාත්තා තෑගි දීපු කාර් එක කොහෙන්ද කියලා!

මංජරී, තාත්තාගෙන් අහන්න පාට වෙනස් කරලා අම්මගේ උපන්දිනේට තාත්තා තෑගි දීපු කාර් එක කොහෙන්ද කියලා!
එම පැහැරගැනීමත්, අනතුරුව අතුරුදහන් කිරීමත් අතර සිදුවීම් රැසක් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කර ගෙන තිබෙනවා. තරුණයින් 11 දෙනාගේ ඥාතීන් සිය දරුවන්, සහෝදරයන්, සැමියන් වෙනුවෙන් සාධාරණය සොයද්දී  අනෙක් පසින් දසනායක ඇතුළු චූදිතයන්ගේ පාර්ශවයෙන්ද සාධාරණය පිළිබඳ කතා කරනවා. එක් පසෙකින් මනුස්සකම, මානව අයිතිවාසිකම්  වෙද්දී අනෙක් පසින් යුධ විරු සාධකය. හෙට දිනයේදී මේ කතාවට තවත් කාරණා එකතු වේවි. ඒ අතරම යුක්තියත් ඉටුවීම ගැන තවත් පිරිසක් දෑස් දල්වා ගෙන බලා ඉන්නවා කියන එකත් සිහි තබා ගත යුතුයි.
 
කෙසේ නමුත් මේ, අතුරුදහන් තරුණයින්ගේ ඥාතීන් මෙන්ම දසනායකලාගේ පාර්ශවයේ දරුවන්, බිරින්දෑවරුන්, මව්පියන් අසරණ වී සිටින මොහොතක්  කිසිවෙකුටත් තමන්ගේ හිතෛෂීන්, ආදරණීයයන් වෙන්වීම, අහිමි වීම දරාගත නොහැකියි. එහෙත් එසේ සිටීමට අද බොහෝ දෙනෙකුට සිදුව තිබෙනවා. අඩුම තරමේ හෙවනැල්ල හෝ නොමැතිකමින්. සිදු වූයේ කුමක්ද යන්න නොදන්නාකමින්. මේ රටේ පාලකයන් හතර වටේම ඇති මානව හිමිකම් ප්‍රඥප්තිවලට අත්සන් පිට අත්සන් ගැසුවත් මේ රටේ මව් පියවරු, දරුවෝ, සහෝදර සහෝදරියෝ බොහොමයක් දෙනා අද ජීවත් වෙන්නේ හූල්ලමින්. මේ තරුණයින් 11 දෙනාගේ සිද්ධිය ඊට හොඳම නිදසුනක්.  
 
දසනයකලාට දැන් අවශ්‍ය වන්නේ කෙසේ හෝ මේ වැටුණු වලෙන් ගොඩ ඒම. ප්‍රතික්ෂේප කිරීම් හමුවේ වුවද දරුවන් පවා ජාත්‍යන්තරය හමුවට යන්නට උත්සහ දරන්නේ ඒ වෙනුවෙන්. තිබෙන එකම තුරුම්පුව  LTTE යට එරෙහි රණවිරු ගැම්ම. ජාත්‍යාලයෙන් ඔද වැඩී  ඉන්න මිනිස්සු ඉන්න රටක ඇත්ත යුත්තට වඩා ඒ වගේ දෙයක් පාවිච්චි කිරීම තමයි යෝග්‍යම දේ කියන්න දසනායකලා දන්නවා. "මොනවා වුනත් යුද්ධයක් දිනපු මිනිස්සු. අද පාරේ බැහැලා යන්නේ ඒ මිනිස්සු නිසා." දෙබරෙට ගලක් ගහන්න ඒ හොඳටම ඇති. අතුරුදහන්වූවන් කොටි වෙද්දී සෙස්සන් දේශප්‍රේමීන් වෙන්නේ එහෙම. ඒත් ඇත්ත ඒක නෙවෙයි කියන්න සමාජය පිළිගන්නේ බොහොම හෙමිහිට.
 
රජිව් නාගනාදන් ඇතුළු තරුණයින් 11 දෙන පැහැර ගන්නේ කප්පම් ඉල්ලන්න. ඒ බව දැන් තහවුරු වෙලා හමාරයි. ඒ තහවුරුවත් එක්ක එතෙක් ඔවුන්ට එල්ල වූ LTTE චෝදනාව ඉබේම අහෝසි වෙනවා. මෙතන තමන්ගේ අය බේරගන්න ඉල්ලපු කප්පම් දීපු අයත් හිටියා. ඒත් තමන්ගේ දරුවා, සහෝදරයා, සැමියා ගෙදර ආවේ නැහැ. තාමත් ඔවුන් අතුරුදහන්. රජිව් පැහැර  ගන්නේ ගෙදර මෝටර් රථයත් එක්ක. පහුවදා වෛද්‍ය අධ්‍යාපනය ලබන්න විදෙස් ගතවෙන්න සිටි රජිව් තමයි යාළුවොත් එක්කම පැහැර ගන්නේ. රජිව් ආවෙත් නැහැ. රජිව්ගේ මෝටර් රථයට වෙච්ච දේකුත් නැහැ. 
 
මෙතන තියෙන වැදගත්ම කාරණයක්  තමයි ඇත්තටම ඒ මෝටර් රථයට මොකද වුණේ කියන එක. අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව නම් රජිව්ලගේ මෝටර් රථය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේත් වැඩවලට එහෙට මෙහෙට දුවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මෝටර් රථය  දසනායකට  තමන්ගේ ජිවිතයේ වෙනසක් කරන්න අවස්ථාවක් උදා  කරපු දෙයක්. මේ වෙද්දී අනාවරණ වී ඇති කාරණා වලට අනුව රජිව්ගේ මෝටර් රථයේ  (NISSAN MARCH -BLACK ) වර්ණය වෙනස් කරනවා. කළු කාරය රතු වර්ණයට වෙනස් කරනවා. දසනායක තමන්ගේ බිරිඳගේ උපන්දිනයට තෑග්ගක් විදිහට දෙන්නේ මේ මෝටර් රථය. රජිව්ගේ මෝටර් රථය. සිද්ධිය ගැන තොරතුරු හෙළිවී ඇති බවට තහවුරු වෙනවත් එක්ක ඒ මෝටර් රථය අතුරුදහන් වෙනවා. මෝටර් රථයට වෙච්ච දෙයක් නැහැ. යුධ ජයග්‍රහණයේ බල මහිමයෙන් බොහොමයක්  දේවල් වෙනස් වෙන්නේ ඒ විදිහට. මංජරී වුනත් යුද්දේ ගැන කියා කියා ඉන්නවා වගේම එතනින් එහාට මොකද වුණේ කියලා හොයල බලන එක වැදගත්. කිසිම කෙනෙක් තමන්ගේ කෙනෙක් වැරදි කාරයෙක් කියලා සමාජය ඉදිරියේ ලේබල් වෙනවට කැමති නැහැ. කප්පම් ඉල්ලන්න පැහැර  ගෙන ගිහින් අන්තිමට LTTE  විදිහට හංවඩු ගහද්දි දැනෙන වේදනාව ගැනත් කාට කාට වුණත් වැටහෙනවා නම් ඒක එකිනෙකාව අවබෝධ කරගන්න මගක් වේවි. ජිවිතේ පටන් ගන්න හදන තරුණ කොල්ලෝ ටිකක් විතරක් නෙවෙයි ඔවුන්ගේ දෙපළත් සාහසික විදිහට භාවිතා කරන්න හැකි වීම තුළ ඔවුන්ගේ වීරත්වය කෙබඳු එකක් විය හැකිද? ඒ වීරත්වය ගැනත් මංජරී ප්‍රශ්න කරනවා නම් තමයි හොඳ. 
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment