සුනාමියෙන් විනාශ වූ හම්බන්තොට සතිපොළ වසර 13 කට පසු යලි පෙර තිබු තැනටම

සුනාමියෙන් විනාශ වූ හම්බන්තොට සතිපොළ වසර 13 කට පසු යලි පෙර තිබු තැනටම
2004 දෙසැම්බර් 26 වන ඉරු දිනයෙන් පසු හම්බන්තොට බස් නැවතුම් පොලත් ධීවර වරායත් අතර පිහිටි හම්බන්තොට සතිපොළ ඉන් පසුව එම ස්ථානයේ කිසිදිනක නොපවත්වනු ලැබූ අතර එය හම්බන්තොට නගරයෙන් ඈත්ව විවිධ ස්ථානවලට ගෙන ගියේය. වසර 13 කට පසුව මෙව ඉරුදින (07) යලි එම ස්ථානයේ සති පොළ ආරම්භ කලේ සුනාමිය පිළිබඳ යලි බොහෝ දෙනෙකුගේ මතකය අවදි කරමිනි.
 
සුනාමි ව්‍යසනයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම හානියක් සිදුවුනේ හම්බන්තොට නගරයටයි. ඒ අතර හම්බන්තොට එදින පැවති මහජන පොලේ වෙළදාමේ පැමිණි වෙළෙන්දන් මෙන්ම වෙළඳ පොලට පැමිණි පාරිභෝගික ජනතාව බොහොමයක් සුනාමියට හසුවී මියගියා සේම තවත් බොහෝ දෙනෙකු මේ වනවිටත් අතුරුදහන්ය.
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුනාමියට ගොදුරු වී පුද්ගලයින් 4200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, තවත් 963 ක් අතුරුදහන් වූවන්ගේ ලේඛනයට ඇතුලත් වී තිබේ.
 
මීට වසර 13 කට පෙර සුනාමිය විසින් හම්බන්තොට මහජන පොල විනාශ කර දැමීමෙන් පසු සුනාමි රකුසාගෙන් දිවි බේරාගත් වෙළෙන්දන්ගෙන් අතලොස්සක්ද එහි දක්නට ලැබීම විශේෂත්වයක් වේ. ඒ අතරින් තම අද්දැකීම් විස්තර කළ සුනාමි දිනයේද හම්බන්තොට මහජනපොලේ වෙළඳාම් කළ ශාන්ත ගමගේ මහතා,
 
'මම 2004 දෙසැම්බර් 26 වෙනිදාත් අද වගේම පොළට ඇවිත් හිටියා. එක පාරටම අඩි 30 විතර වතුර උස්වෙලා මුහුද ගොඩට එනවා මම දැක්කා. මට කර ගන්න දෙයක් නැතිව ගියා. මම සුනාමියට අහුවෙලා ගහගෙන ගියා. ගස් අස්සෙන්, ත්‍රීවිල් අස්සෙන් මාව ගහගෙන ගියා. එහෙම ගහගෙන් ගිහින් දෙගරාවක මාව තද උනා. මගේ අගේ තිබුන රෙදිවත් එතකොට තිබුනේ නෑ. ඇග සම්පුර්ණයෙන් තුවාල වෙලා තිබුනේ. කකුල දෙකට කැඩිලා එල්ලී එල්ලී තිබුණේ. රෙදි විකුනපු ටයිටස් කියලා මුදලාලි කෙනෙක් තමයි මාව රෝහලට එක්කන් ගියේ. අපිත් එක්ක පොළට ආපු  මුදලාලිලා 33 දෙනෙකුගෙන් බේරුනේ මම විතරයි. අදටත් අද මම මෙතන ඉන්නකොට බයක් දැනෙනවා.'
 
එම්.ඒ. ශ්‍රියාකාන්ති 'මම අම්බලන්තොට  මාමඩල ඉදලා තමයිහම්බන්තොට පොලට එන්නේ. අවුරුදු 13 කට පස්සේ තමයි අපි මේ පොලට ආවේ. සුනාමි වෙලාවෙත් අපි මේ පොලේ වෙළඳාම් කර කර තමයි  හිටියේ. මමත් සුනාමියට අහු උනා. මම සුනාමියට ගහගෙන ගිහින් ගෙදරක වහලක තිබුන කඹයක එල්ලිලා තමයි ජීවිතය බේරාගත්තේ. මට උදවු කළේ මේ පොලේ කොස් විකුණන අයිය කෙනක්. අපිත් එක්ක මේ පොලේ මෙතැන වෙළඳාම් කරපු සහෝදර සහෝදරියන් වගේ හිටපු අය මහ මුහුද අරන්ගියා...'
 
ටී.එච්. ගාමිණී 'සුනාමිය එනකොට මම දුවලා බේරුනා. මගේ වාහන සියල්ලම කුඩුවෙලා විනාශ උනා. අද මම මෙතනට අවුරුදු 13 කට පස්සේ තමයි  ආවේ. නමුත් අද මෙතනට ආවට තාමත් මුහුද පැත්ත බලනවා මුහුද එනවද කියලා.'
 
සුනාමියෙන් විනාශ වී ගිය හම්බන්තොට පොළ භූමිය අද වෙනදාටත් වඩා සංවර්ධනය කර තිබේ. මේ අතර එදා සුනාමියටද විනාශ නොවූ ධීවර පිළිරුවේ දක්නට ඇත්තේ පිළිරුව සකස්කර කර තිබු ස්ථම්භ කණු හතර පමණි.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
hamba pola 1
hamba pola 2
hamba pola 3
hamba pola 4
hamba pola 5
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment