දේශපාලනය කරන කවුරුත් සිංහබාහුලා

දේශපාලනය කරන කවුරුත් සිංහබාහුලා

සරච්චන්ද්‍ර සර් මේක හැඳින්නුවෙ මේ විදියටයි යනුවෙන් ඌනපූරණයක් ද ඒ බොහෝ අය කෙරුවා මතකයි. යුවරජු වීමෙන් පසු රාජ්‍යත්වය පිළිබඳ මඬනා ලද හැඟීමක් සිංහබාහු වෙත තිබිණැයිද ඒ නිසා ඔහුට පියා සම්බන්ධයෙන් වුව එම මානසිකත්වය පරදවා කටයුතු කළ හැකිව නොතිබිණැයිද කියා කිසිවකුත් කීවේ නැහැ. අලුතින් එහෙම දෙයක් ගැන සිතීමටවත් ඔවුන්ගේ කැමැත්තක් නැහැ. අපි දැන් වෙන විදියකට මේ ගැන හිතන්නට ගත්තොත් ඩොක්ටර් අවුලකට පත්වෙයි වගේ හැඟීමක් ඒ කාගේත් වතින් පිළිඹිබු වුණා.

සරච්චන්ද්‍රයන් ඉගැන්වූ පරිදි මෙය හුදු පිය පුතු ගැටුමක් විය හැකිද? මෙම කතා පුවතට අනුව සිංහබාහු හා සිංහසීවලී පියා සහ මව සමග සිටියේ ගල් ගුහාවක. තරුණ වියට එළැඹෙන විට දරුවෝ මේ ගැන මවගෙන් විමසීමට පෙළඹුණා. එසේ විමසීමට මූලික හේතුවක් වන්නේ මව විසින් තම අතීත විත්තිය හෙවත් විභූතිමත් දිවිය පිළිබඳව දරුවන් හමුවෙහි විටින් විට තබන් දේවල් බව පැහැදිලියි. සුප්පා එසේ සිය අතීත කුමරි දිවියට පෙම් බැඳීම ඉතාම සාධාරණයි. එක් අතකින් එය මානුෂික කාරණයක්. දරුවන්ද ක්‍රමයෙන් තරුණ වියට එළඹෙන විට මව සංඥා කරන ලෝකය මනසින් ස්පර්ශ කර බැලීම සාධාරණයි.

අනතුරුව ඔවුන්ට එය භෞතිකව ස්පර්ශ කර බලන්නත් ඕනෙ වෙනවා. ඔවුන් එම ලෝකයට ආසක්ත කිරීම මගින් සරච්චන්ද්‍රයන් පුවත හරියටම යථාර්ථයට නැඹුරු කරවනවා. ඔවුන් ඒ සා ආදරය කළ පියා හැරපියා මව සමග වනය ඉක්මවා මිනිස් වාසය සොයා යන්නේ ඒ නිසයි. පියා හැර යනවා මිස ඔහුත් සමග ගොස් රජ මැදුරක ජීවත් විය නොහැකියි. මන්ද සිංහයා ඒ ක්‍රමයට එරෙහි ඊට වෛර කරන කෙනෙක්. මිනිස් වාසයට පැමිණි සැණින් ඔවුන්ට රජ සැප ලැබෙනවා. සිංහබාහු පුතා එරට යුවරජු බවට පත්වෙනවා. ඉතින් ආපසු හැරෙන්න බැහැ. වියරු වැටී ජනයා පෙළාගෙන ඉදිරියට එන සිංහයා සමග කෙසේවත් ඔහුට යළි වනගත විය නොහැකියි. පීතෘ ප්‍රේමය නිසාවත් ඒක කළ නොහැකියි. සිංහබාහු මෙතැන් සිට කැපවිය යුත්තේ හා පෙනී සිටිය යුත්තේ පියාගේ ආදරය වෙනුවෙන් නෙමෙයි, සිය රාජ්‍යත්වය වෙනුවෙනුයි.

සිංහබාහුගේ උක්ත තීරණේ වර්තමාන ලංකා දේශපාලනයේ පක්ෂ මාරු කිරීම, ස්ථාවරයන් වෙනස් කිරීම, ජනපති ළඟට පැනීම, ජනපති ළඟදීම ඇනගනු ඇතැයි සිතා මහින්ද ළඟට පැනීම, ප්‍රතිපත්ති පාවාදීමක් යැයි හඳුන්වන සමහර දේවල් කිරීම මෙන්ම පරාජිතයන් පාර්ලිමේන්තුවට යැවීම, හොරු නිදොස් කිරීමට වෑයම් කිරීම, කොච්චරවාත් විශේෂ ප්‍රකාශ කිරීම ආදී බල දේශපාලනය උදෙසා ගන්නා තීන්දු තීරණ හා සමානයි. නොඇසෙන්නේ සිංහබාහු නාට්‍යයේදී මෙන් අනෙකාගේ මෛත්‍රි සිත බිඳුණු නිසා පැන්නා වැනි කාව්‍යමය වදන් පමණයි. නොකියන්නේ අනෙකාගේ මෛත්‍රිය බිඳුණු නිසා ප්‍රතිපත්ති පාවා දුන්නා වැනි වදන් පමණයි. මෙහිදී බල දේශපාලනය වෙනුවෙන් කරන සියලු ක්‍රියා සාධාරණීකරණය කෙරෙනවා. ඒ අනුව අද අපි දේශපාලන භූමියේ දකින කවුරුත් සිංහබාහුලාම තමයි.

විමලනාත් වීරරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment