දුකයි .... ලූන්

දුකයි .... ලූන්

 

ශ‍්‍රී ලංකාවේ ඉහළ ගුණාත්මක මානව සම්පත, අධ්‍යාපනික දියුණුව, සෞඛ්‍ය හා පරිපාලන ක්ෂේත‍්‍රයන් අත් කරගෙන පැවති ප‍්‍රගතිය මෙන්ම වාර්ගික සංහිඳියාව වැනි කරුණු සැලකිල්ලට ගනිමින් රටක් දියුණුව කරා යොමුකළ හැකි ආකාරය පිළිබඳව සිහින දුටු සිංගප්පූරුවේ අසාහය නායක ලී ක්වාන් යූ ඉන් දශකයකට පසුව අත්දුටුවේ වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාරය රටේ ආර්ථික මර්මස්ථාන, තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ගිලගෙන සිටින ආකාරයයි. පටු අරමුණු මත බලය උදෙසා ජාතිවාදය ඉස්මතු කරමින් සිටි දේශපාලන නායකත්වයයි. ශක්තිමත් ලෙස ගොඩනැගෙමින් පැවති ආර්ථිකයක් දූෂණයට ඉනිමං බැඳීම නිසා කඩාවැටෙමින් සිටින ආකාරයයි.

සිංගප්පූරුවේ මෙන්ම ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය කියවීම තුළ අප දෙරට නෙළාගෙන ඇති අස්වනු හා ඊට බලපා ඇති සමාජ ආර්ථික හා දේශපාලන සාධක මැනවින් හඳුනාගත හැකිය. අප රට අඳුරු අගාධයකට ඇද දැමීම සඳහා වෙර දරන දේශපාලන චරිත හා බලවේග ද හඳුනාගත හැකිය.

අද මේ සටහනට සිංගප්පූරුව පූර්විකාවක් කරගත්තේ කරුණු දෙකක් නිසාය. මේ වනවිට සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයා වන ලී සෙයින් ලූන් මහතා රාජ්‍ය සංවාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටීම ඒ සඳහා මුල් වූ පළමු කරුණයි. සිංගප්පූරුව වැනි රටකට ද ලොව බලවත්ම ආර්ථිකයකට හිමිකම් කියන රටක් ලෙස ගොඩගැනීමට හැකිවී නම් අප වැනි විවිධාකාර සම්පත් වලින් අනූන රටකට යා හැකි දුර බොහෝ වන බව තේරුම් ගැනීමට උත්සාහ කිරීම දෙවැනි කාරණයයි.

පැල්පත් වලින් ගහණ මඩ ගොහොරුවක් ලෙස දිස් වූ ලොව දුප්පත්ම කුඩා දූපතක් ලෙස අනේකවිධ කෙනෙහිලිකම් වලට හා බලපෑම් වලට නතුව තිබූ නගරයක් අද ලෝකයේ ඉහළම ආර්ථික මධ්‍යස්ථාන අතරින් සිව්වන ස්ථානය කරා රැගෙන ඒමේ රහස රටක් ලෙස අප ද ගැඹුරින් තේරුම්ගත යුතුව ඇත. එහිදී අප ප‍්‍රථමයෙන්ම සලකා බැලිය යුත්තේ නිවැරදි ආර්ථික කළමනාකරණයක් කෙරෙහි දැක්විය යුතු අවධානය කෙරෙහිය. දූෂණය පිටු දකිමින් දූෂකයන්ට ඉහළම දඬුවම් ලබාදෙමින් ඒ තුළ පිරිසිදු පාලනයක් ගොඩනැගීම ඒ සඳහා තැබිය යුතු ප‍්‍රමුඛතම පියවරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම ආරක්ෂා කරගනිමින් පුරවැසියන්ගේ සාමාජික, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන අයිතීන් ආරක්ෂා කරගනිමින් ඊට අදාළ සියලූ වටිනාකම් වලට ගරුත්වයක් ලබාදෙන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් වලට මුවාවන අවස්ථාවාදීන් ද හඳුනාගෙන පිටුදැකීම එහිදී අත්‍යන්තයෙන්ම සිදුකළ යුතු කාර්යයක් වී තිබේ.

එහිදී අප රටක් ලෙස ආරක්ෂා කරගත යුතු පැහැදිළි මූලධර්මයක් තිබේ. එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තුළ අන්තර්ගත සියලූ අයිතිවාසිකම් බුක්ති විඳීමේ පරම අයිතිය ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුගමනය කරමින් එය පිළිගන්නා හා ඊට ගරු කරන පුද්ගලයන්ට හා ව්‍යාපාරයන්ට පමණක්ම යන්නය. ත‍්‍රස්තවාදී උපාය උපක‍්‍රම පිළිබඳව විශ්වාසය තබන ත‍්‍රස්තවාදීන්ට මෙන්ම නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් නොපිළිගන්නා දේශපාලන අරමුණක් සහිත කිසිවෙකුට හෝ සංවිධානයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වලට මුවා වීමට ඉඩ නොතැබීම එහිදී ඉතා වැදගත් ය.

අප රට මේ තරම් ආපස්සට ඇද දැමූ අන්තවාදී දේශපාලන බලවේග මෙන්ම අන්ත දූෂිත මිනීමරු බලවේග පවා අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකිරීම තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් හි රැකවරණ ලබාගැනීමට ඉදිරිපත් වීම තුළ ඒ බව වටහාගත හැකිය. බීමට පිරිසිදු වතුර ඉල්ලූ අහිංසක නිරායුධ පුරවැසියන්ට ප‍්‍රසිද්ධියේම වෙඩි තබා ඝාතනය කළ පාලකයන් අද කතරගම පොලිස් වෙඩි තැබීමක් ගැන කටේ, දිවේ නොගෑවී කතාකරන්නේ ඒ නිසාය. කැලෑ නීතිය රජ කරමින් රටේ නීත්‍යානුකූල අගවිනිසුරුවරිය පැය 24 ක් තුළ ගෙදර යැවූ පාලකයෙක් අද අධිකරණයේ නිදහස ගැන කතාකරන්නේ ඒ නිසාය. ලංකා ඉතිහාසයේ දොන් ජුවන් ධර්මපාල රජුගෙන් පසුව මේ රටේ භූමියෙන් කොටසක් තම අත්සන යොදා සින්නක්කර ඔප්පු මගින් විදේශීය රාජ්‍යයකට පවරා දුන් පාලකයෙක් රටේ ජාතික සම්පත් විදේශීකයන්ට පවරා දෙන බවට මොර දෙමින් සිටින්නේ ඒ නිසාය. මේ උදාහරණ කිහිපයක් පමණකි. එමෙන්ම එක් පුද්ගලයෙකුට හා ඔහු වටා සිටින කණ්ඩායමකට අදාළ උදාහරණ කිහිපයක් පමණකි.

තමන් නොපිළිගන්නා, තම කණ්ඩායමට බලයක් ලැබුණහොත් කිසිසේත්ම ක‍්‍රියාවට නොයොදවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් තුළ ගුලි වී රටේ සාමකාමී පුරවැසියන්ගේ අයිතිවාසිකම් බිඳ දමන, ජනජීවිතයේ පැවැත්මට බාධා කරන තවත් කල්ලි කණ්ඩායම් කිහිපයක්ම මේ රටේ සිටින බව ද අප අවබෝධ කරගත යුතුය.

මේ රටේ බහුතර ජනතාව මෙන්ම පාලකයන් ද ඒ බව අවබෝධ කරගන්නා තුරු අප රටට යහපත් අනාගතයක් තිබිය නොහැකිය. එහිදී සිංගප්පූරුව අපට ආදර්ශය ගතහැකි එක රටකි.

සුනිල් ජයසේකර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment