පළමු 20/20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

පළමු 20/20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මහමදුල්ලා පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තනතීරුවේ පළමු පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 05 කට ලකුණු 193 ක් ලබා ගනිමිනි. ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර් ලකුණු 51 ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 66 ක් වාර්තා කළ අතර නායක මහමදුල්ලා ලකුණු 43 ක් ලබාගැනීමට සමත් විය.
 
පන්දු යැවීමේදී කලෙකට පසු ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වූ ජීවන් මෙන්ඩිස් ලකුණු 21 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල සඳහා ලකුණු 53 ක් වාර්තා කළ අතර ඒ සඳහා ඔවුන්ට වැය වූයේ පන්දුවාර 4.4 ක් පමණි. ගුණතිලක (30) දැවීයාමෙන් අනතුරුව උපුල් තරංගද ඉක්මනින් දැවීගිය අතර තෙවැනි කඩුල්ල සඳහා පිටියට පිවසි දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් ලබාගැනීමට සමත් විය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය පළමු 20/20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53 ක් ලබා ගත්තේය. ලකුණු 129 දි සිව්වැනි කඩුල්ල බිඳවැටීමෙන් පසු පිටියට පිවිසි තිසර පෙරේරා සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරමින් පන්දු 18 කදී වේගවත් ලකුණු 39 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 194 ක ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කරනවිට තවත් පන්දු 20 ක් ඉතිරිව තිබිණි.
 
සිය පළමු ජාත්‍යන්තර 20/20 අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය අවසන් කරමින් දෙවැනි 20/20 තරගය ලබන 18 වැනිදා සිල්හෙට් හිදී පැවැත්වේ.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment